Wednesday, February 24, 2016

5. ඉරබටු තරුව වගේ පායන්නම් සකි සඳ නුඹ අහෙසම හිනැහේ නම්



මගේ ගී මගෙහි කපුගේ - මාලනී භූමිකාව...


විශාරද ගුණදාස කපුගේ පොරොන්දු වූ පරිදිම මගේ මුල්ම ගීත කිහිපය වෙනුවෙන් ගීත දෙකක්ම සංගීතවත් කළේ අළුතින් ක්ෂේත්‍රයට එන රචකයෙකුට අත හිත දෙනු පිනිසම ය. 

ඔහු දෙවෙනි ගීතය ලෙස තෝරා ගනු ලැබුවේ යුග ගීතයකි. එයද අර මා පෙර කොටසේ ලියූ හොඳ ගීත රචනයක ලක්ෂණ මෙහි ගැබ් නොවේය යන ලේබලය යටතේ සාකච්ඡාවෙන් ඉවත දැමුණු එකකි.
ගීතය සඳහා අවැසි කාන්තා කට හඬ වෙනත් තෝරා ගැනීමක් නැතිවම  


විශාරද ගායිකා මාලනී බුලත්සිංහල 
යන එකම නාමයට වෙන්වුනි.
මේ නම් සිහිනයකි. එහෙත් සිහින අතුරින් සමහර සිහින සැබෑ වීම මොන තරම් නම් වාසනාවක්ද?
කපුගේ ගේ තනි හඬට බැඳුනා සේම මේ හඬ සුසංයෝගයට තිබුණු බැදීමද මෙතෙකැයි කිව නොහැකි එකකි. 


එබැවින් කෙනෙකුගේ පළමු ගීත කිහිපයට මේ දෙපළගේ යුග ගීයකුත් අයිති වීම වාසනාවක් නොවේද?
එමෙන්ම ඒවා ආර්ථික ප්‍රතිලාභ පිනිස නොවී කරන්නට ඉදිරිපත් වීම තවත් සහනයක් නොවේද?


එය නම් ප්‍රේම ගීතයකි. පෙර අප අසා හුරු පුරුදු සංවාද ගීත ස්වරූපයෙන් ලියැවුණකි එය.

ඉරබටු තරුව වගේ පායන්නම්
සකි සඳ නුඹ අහෙසම හිනැහේ නම්

ඉරබටු තරුව යනු සිකුරු තරුවටම කියන නමකි. කලක මේ ඉරබටු තරුව විදිහට පෙනෙන තරුවමය තවත් කලකට පහන් තරුව සේ ද දිස් වෙන්නේ. 
තරුව... තරුව... කියා කීවද ඇත්තටම නම් එය ග්‍රහලොවකි.
ඒ තොරතුරු ඔබගේ සැබෑලොව දැනුම පිණිස ය. එහෙත් කවි ලොවදී ග්‍රහ ලොවද තරුවකි.
ඇය කියනුයේ තමන් ඉරබටු තරුව වන රිසින් සිටිනා බවයි. එහෙත් එසේ වන්නට ඈ රිසි ඔහු එනම් හිරු බැස නොගොස් ඈ අසලම දිලිසේ නම් පමණි.
මේ කතා සැබෑ ලොවදී නම් ප්‍රශ්ණ කෙරෙනු ඇත. එහෙත් කවි ලොවදී හෝ පෙම් ලොවදී මේවා ප්‍රශ්ණ කරණුයේ ප්‍රේමයට හෝ කවියට අසංවේදී මිනිසුන් පමණකි.
ඔහුටද ඇගේ පෙම මේ සා පැවසෙන මේ පද පෙළ වෙනුවෙන් කීමට පැදි පෙළක් ඇත.

සඳමත සා බිළිඳෙකු සේ ඉන්නම්
මිහිරිය නුඹ මවෙතම ළං වේ නම්

ඔහුට කියන්න ඇත්තේද අර වැනිම වූ ප්‍රේමාන්විත කියමනකි. ඈ සඳක් සේ ඔහුට ළං වේ නම් ඒ සඳ මත සා බිළි‍ඳෙකු වන්නටය ඔහු පැතුම.

අතු අග කෝල මුවින් සරසන්නම්
මල් ලෙද සුවද රොනුත් ගෙන එන්නම්

අතු අග සරසන මලක් වන්නටද, ඒ මල වල රොනින් සුවදින් සරසන්නටද ඈ තුළ පැතුමක් වෙයි.

රොන් සුනු සුවද දිගේ දිව එන්නම්
මිහිරියෙ රොන් නොව මල සුරකින්නම්

ඒ රොන් සුනු සුවද දිගේ දිව ආවද, රොන් මිස මල නොතලන්නටය ඔහු පැතුම.

කන් කළු මියුරු තෙපුල් පවසන්නම්
තුන් යම ගීත නදක් වී ඉන්නම්

ජීවන මගේ, තුන් යමේම පිය තෙපුලෙන් ඔහු සවන් පත් සරසන්නටය ඈ පැතුම. ඒ පිය තෙපුල් නම් ගී මී වැනිය.

සිහිලැල් නල රැල්ලක් සේ එන්නම්
කෙහෙ රැලි අවුල ලිහා සරසන්නම්

ඔහු පැතුමචද ඊට නොදෙවෙනිය. සිහිල් සුළං දහරක් සේ විත, ඈ හිස අවුල් ලිහා සරසන්නටය ඔහු පැතුම.
මේ සංවාද ස්වරූපය ගෙන මේ ගීය ලියන්නට මට සිත් වූයේ පෙර අප අසා තිබූ බොහෝ අතීත එවන් සංවාද ස්වරූපයේ ගී කුලකය හේතුවෙනි. උදාහරණ සපයන්නට නොයමි. මතකයට නැගෙනු නිසැකය.
මේ ගීතයට තරමක් වේගවත් රිද්මයක් යොදන්නටය කපුගේ අයියා  සිතුවේ. එහෙත් රිදමයෙන් නොමැරෙන ප්‍රේමාන්විත බවක් එහි දවටන්නට ද ඔහු සමත් වූ බව මට හැඟුනු වාර අපමණය. එය ඔබට කෙසේ දැනේවිදැයි මම නොදනිමි.
මේ ගීය එකල සමහර ගුවන් විදුලි නාලිකා වල අතිශයින් ජනප්‍රිය විය. සමහර අසන්න්ගේ කැමැත්ත මත ගී අනුපිලිවෙල තෝරණ සංගීත වැඩ සටහන් වල සෑහෙන කාලයක් මේ ගීය ඉහල තලයක වැජඹුන බවද කිව යුතුය.
අපි එම ගීතය අසමු.
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - ගුණදාස කපුගේ
හඬ - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල








- යසනාත් ධම්මික බණ්ඩාර  -

No comments:

Post a Comment