Sunday, February 21, 2016

3. උයන්පල්ලා සහ සඳවතිය




තුන්වන ගීතයට පෙර කියා ඇරඹුවාට මේ කිඳුරු ගීතය සංයුක්ත තැටියේ තුන්වන ගීතය නම් නොවේ. මෙහි ඉදිරිපත් කරණ තුන්වැනි ගීතයයි.
මෙහි ඇත්තේ කතාවක් නොවේ.
හැඟීමක්.
ඉතා දුරින් සිටින එක්වීම යනු සිහිනයක්ම පමණක් වන ඒත් එකිනෙකාට බැඳි පෙම අමතක නොකරණ පෙම් යුවලකගේ භාව ප්‍රකාශනයක් ලෙසටයි මම එය ලියුවේ.
මම මේ ගීතයේ මේ චරිත දෙක සඳහා යොදා ගත්තේ එක්තරා හුදෙකලා රාත්‍රියක කල්පනා සයුරේ කිමිදුනු උයන්පල්ලෙක් සහ ඔහුට ඉහළ අහසේ ඈතින් හිනැහෙන සඳවතියයි.
කල්පනා සයුරේ නිමග්න වුණු උයන් පල්ලා ඈත අහසේ සිට තමන්ට හිනැහෙන සඳවතිය දකී.
ඔහුට හැඟෙනුයේ ඈත අහසේ වළාකුළු අතර හිඳ ඈ හිනැහෙන්නේ හුදෙකලා තමන් වෙනුවෙන්ම ය කියායි.
මෙන්න මේ හැඟුම මත ඇවිදින ඔහුගේ සිතුවිලි කෙමෙන් ඔවුන් අතරේ අදහස් හුවමාරු කරගැනීමක් සේ හැඟෙන තරමට වැඩෙයි. එහෙත් ඒ මනෝ රාජ්‍යය තුළමයි. සැබෑවේ නම් නොවේ.
මනෝරාජික එවැනි පිළිසඳරවල් වලදී කුමක කුමන ආකාරයේ අදහස් නම් හුවමාරු විය හැකිද?
මේ අදහස් අතරේ ඔහු ඈ වෙනුවෙන් මතුවුණු තම ප්‍රේමනීය හැඟීමද ප්‍රකාශකරණු ලබයි. ගීතය තුළ ගැටුම ඇති වෙන්නේ එතැනිනි. එතැන් සිටය,
එකිනෙකාගේ පෙමද,
එක්වීමට නොහැකි කරුණුද,
එක්වන්නට නොහැකි වූවද එකිකෙනාට ඇති පෙමද,
ආදී වූ මේ අදහස් හුවමාරු වෙන්නේ.
මේ භාව ප්‍රකාශනය ගීත රචනයක වෙස් ගෙන මා තුළින් මතු වෙන්නේ අන් අයෙක් මට දුන් උත්තේජනයක් හේතුවෙනි. එය සංගීතමය උත්තේජනයකි. ඒ අන් කෙනා නම් මා මිතුරු 


සංගීතඥ නවරත්න ගමගේ 
ය.
එනම් නවරත්න ගමගේ විසින් පෙර නිර්මිත තනුවකිනි.
නවා මේ තනුව ඇත්තෙන්ම නිර්මාණය කරණුයේ වෙනත් ගීතයකට ය. ඒ ද මගේ ඉල්ලීම මතය. එහෙත් ඒ ගීතය අදාල ගායකයා විසින් ඒ තනුවට නොගයා, වෙනත් අයෙකුගේ තනුවකට ගායනා කිරීම හේතුවෙන් මේ තනුව අප වෙත ඉතිරි වෙයි.
බොහෝ අගනා තනුවකට මේ ඉරණම අත්වීම පිළිබඳව පසුතැවිල්ලක් නවා ට ඉතිරි වෙයි.
දැන් මා කළ යුත්තේ නවා ගේ ඒ පසුතැවිල්ල දුරු කොට, මේ තනුවට සාධාරණය ඉටු කිරීමයි.
ඒ අනුව ඒ තනුවට වචන යෙදීමේ වගකීම ම විසින් මා වෙතම ම පවරා ගතිමි.
මේ තනුවට වදන් ඇමිනීම හිතූ තරම් පහසු එකක් නොවුනේ පෙර කීවාක් සේ එය කතාවක් නොව හැඟීමක් වුණු බැවිනි. ගත් උත්සාහයන් රැසක් ලත් තැනම ලොප් විය. එහෙත් උත්සාහය නම් අත් නොහැරුනි.
එක්තරා දිනක, 


ජ/පුර සරසවියේ, තෙල් බැල්ම 
මතට බර දී හුදෙකලාවේ සිටින සැඳෑවක, මේ තනුව ශ්‍රවණය කරණ විට ය, මා උයන්පල්ලෙකුගේ ගේ මනෝභාවයන් වෙතට ඇදුනේ.
ඈත අහසේ පායා තිබූ සඳවතිය හා මේ පිළිසඳර කතා බස් ඇති කරගත්තේ උයන්පල්ලා ය. ඒ අනුව ය අර මධුරතර තනුවට වදන් ගලා එන්නට වූයේ.

වළාකුළු පෙළින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ - මටද ආදරේ

මම පෙර කී උයන් පල්ලා තමයි මෙලෙස අසන්නේ.

අසාවී මෙසේ තුන්යම - දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හද රැඳි සුසුදු ආදරේ - සුසුදු ආදරේ......
සඳවතිය තමයි උයන්පල්ලාගේ අදහසට එලෙසින් සිය පිළිතුර දෙන්නේ.
මෙලෙස ලියැවුණු ගීතය නවා ගේ තනුවට හා සංගීතයට මනාව ගැලපුනි. ඒ භාවයන් හෙවත් හැඟීම් ගැයීම සඳහා අප තෝරාගනු ලැබුවේ  

රශ්මි සංගීතා  
සහ  

ඩබ්. ඩී. ආරියසිංහ  
යන ගායක ගායිකා දෙපළයි.

කිසි දිනක එක් වන්නේද නැති
එක් නොවුණා කියා වෙන් වන්නේද නැති
මේ අරුම පුදුම පෙම්වතුන්ගේ ගීතය අපි අසමු.

ස්වර - නවරත්න ගමගේ.
පද - යසනාත් ධම්මික බණ්ඩාර.
හඬ - රශ්මි සංගීතා / ඩබ්. ඩී. ආරියසිංහ.



මේ ගීතයේ මේ රූප රචනය ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කළ එකකි. මේ ගීතයට රූප රචනාවන් කරන්නට බොහෝ ආයතන ලක ලැහැස්ති වුවද, ඒවා ආරම්භක කතා බස් පමණක් ම විය. කිසියම් හේතුවකින් ඒවා කතාවල් මිස ක්‍රියාවල් බවට පත් නොවුනි.
මේ රූප රචනයේ ඇත්තේ කතාවකි. අර මා කියූ හැඟීම නොවේ. එහෙත් එකල ඒ අවස්ථාවේ මේ රූප රචනයට එරෙහි වන්නට මම මැළි වුණෙමි. මේ ගීතයට ලැබුණු එකම අවස්ථාවත් අහිමිවන්නට ඉඩ තිබූ බැවිනි.
එබැවින් මගේ හැඟීම සරල කතාවකට ගොනු වන බව දැන දැන ම මට නිහඬ වන්නට සිදුවිය. කිසියම් දිනක ඒ හැඟීම රූපයට නගන්නෙමි යන ඒ අදහස තවමත් හිත තුළ නළියයි. කිසි දිනක වියැකී නොයයි. ඒ මා මගේ ගී අතුරින් වඩාත්ම ප්‍රිය කරන ගීතය මෙය වන බැවිනි.
මේ ගීතය ස්ටාර් වැඩ සටහන් දෙකක ගැයුණු අවස්ථා දෙකක්ද මට හමු වුණි. ඒ එකක් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙනුවෙනි. ගායිකාව නුගේගොඩින් පැමිණි තුෂානි සුලේඛා ලෙස එහි හැඳින්වින. මා ඇය එකල දැන් සිටි අයෙක් නොවේ. තවමත් ඈ ගැන නොදන්නෙමි. එහෙත් මෙවැනි වැඩසටහනකට මෙවැනි ගීතයක් තෝරාගැනීමේ අභියෝගය ගත් ඇය පිළිබඳ ප්‍රසාදයක් ඇත. මෙහි සංගීතයේ යම් වෙනසක් කරමින් කළ ඉදිරිපත් කිරීම ගැන ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂ අතුල අධිකාරි වෙතද මගේ ප්‍රසාදය යොමු කළ යුතුය.



මේ අතරේ දිනක් යුධ හමුදාවේ ලුතිනන් වරයෙකු වූ අජිත් රුවන්පුර නමැත්තෙක් මගේ දුරකථනයට ඇමතීය. ඔහුට අවශ්‍ය වූයේ තමන් එදින සැඳෑවේ විකාශය වන රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනට මගේ වළාකුළු පෙළින් බසින්න ගීතය ගයන බව සහ එබැවින් එය නරඹන ලෙස  දැන්වීමටය. ඒ අනුව ඒ ගැයුමද මෙහි අන්තර්ගත කරමි.






-         යසනාත් ධම්මික බණ්ඩාර   -


No comments:

Post a Comment