මගේ ගී මගට වැටුණු කපුගේ ගේ සෙවනැල්ල...
මේ බේලොග් අඩවියේ පළමු
හෝ දෙවෙනි ගීතයට පෙර සටහනේදී මගේ ගී ලිවීම ඇරඹෙන්නට වූ හේතුව මම ඔබට කී බව මතකය.
එයට මූලය වූයේ
විශාරද ගුණදාස කපුගේ
මහතාය. විශාරද ගුණදාස කපුගේට බොහෝ රසිකයින් ආදරයට කියනුයේ කපුගේ අයියා කියායි. ඒ නිසා ද, පසු කලෙක බොහෝ සමීපව
ඇසුරු කරන්නට අවස්ථාව ලද හෙයින් ද මටත් පුරුදු ඔහුට
කපුගේ අයියා කියා හැඳීන්වීමට ය. එබැවින් මේ සටහන් වල ඉදිරියේදී ඒ දෙවිදිහට
ම ඔහු ව ඇමතෙනු ඇත.
කවි පොතක් එළි දක්වන
උත්සවයට කවියක් ගී කොට ගයන්නෙම් යැයි ඔහු කියූ නිසා ය ඒ උත්සවයට ම එකල මා නොදත්
නවරත්න ගමගේ
විසින් තවත් ගී දෙකක් නිර්මාණය කරණු
ලැබුවේ. නවරත්න ගමගේ ව මෙතැනට සම්බන්ධ කළේ මා
මිතුරු
වසන්ත දුක්ගන්නාරාල ( දුකා )
විසින් බව මා
ඔබට කියුවා වැනි මතකයක් ඇත. ඒ අනුව ඒ මගේ මුල්ම ගීත තුනයි.
කෙසේ වෙතත් මේ ගී
නිර්මාණයට යොමු වුණු අයුරු ගැන තවත් ටිකක් දිගට කිව යුතු වන්නේය. එදා කවි පොත එළි
දැක්වූ දා මගේ ම ගීයක් අසන්නට ලැබුණු
ප්‍රමෝදයෙන් ගීත රචනයට වූ ඇල්ම වැඩි වුණේ වුව, කවියෙන් ගීතයට ඒම එතරම් පහසු කරුණක්
නොවුනි. හොඳ ගීත රචනයක් කවියක් ම වුව, සෑම කවියක්ම
ගීතයක් කළ නොහැකිය. ඒවාට අනන්‍ය වෙනම ලකුණු ඇත. මේ නිසා මේ කටයුතු කළ යුත්තේ
සියුම්වය.
මේ සියුම් වෙනස් කම්
පිළිබඳව හදාරමින්, මටම අවංකවම හොඳ යැයි කිව හැකි, සමීපතම කවි මිතුරන් විසින්ද මේ
නම් හොඳ ගීත රචනා යැයි කියූ නිර්මාණ 5ක් පමණ අතැතිව වරක් අපි මහරගම යොවුන්
නිකේතනයෙහි පැවැති ගීත රචනා සඳහා වුණු දෙදින නේවාසික වැඩමුළුවකට සහභාගි වුණෙමි.
දෙවන දිනයේ අවසන් හෝරා කිහිපය වෙන් වූයේ අප අතේ ඇති ගීත රචනා පිළිබඳව විමසීමට ය.
විමසුම පිණිස මගේ ගී පද රචනා අතට ගත් ප්‍රවීනයා මට කීවේ,
මල්ලි,
ඔයා හොඳ කවියෙක්. ඒත් ඔයා ගීත රචනා කලාවේ සියුම් තැන් තවම හරියට හඳුනා ගෙන නෑ.... යනුවෙනි.
දැන් මා හඳුනාගත යුත්තේ
අප අතර එහි සිටි අයගෙන් හොඳ ගී ලියන අය කවුරුන්ද යන්නයි. ඔවුනගේ ගී හා අපේ ගී සසඳා
අපේ දුර්වල කම් මොනවාද යන්නයි. එහෙත් යම්
අරුමයකට මෙන්, අපි හොඳ යැයි සිතා සිටි ගීත වලට වඩා අගැයුනේ අපට නොදැනෙන, අප විසින්
නොහොඳ යැයි හිතූ ඒවාය. තවත් කලක් ඇවෑමෙන්, ඒ අගැයූ ගී ලියූ කිසිවෙක් ක්ෂේත්‍රෙය්
සරනු ද දක්නට නොවුනි.
ඉතින් මෙහෙම කල් ගෙවන
අතරේ අපි කපුගේ අයියා ගැන පොතක් කරන්නට
සූදානම් වූයෙමු. ඔහු ගැන පොතක් කරන්නට හිතූ මේ අපි යන කණ්ඩායමට හිටියේ තුන්
දෙනෙකි. මමත්,
ය. අපි තිදෙනා බෝඩිං සගයින් ය.
මේ කාලය වන විට අපිත් සමග එකට සිටි දුකා වෙනම
බෝඩිමකට ගොස් සිටියේය. ඒ නිසා මේ වැඩේට එකතු වුණේ අපි තිදෙනාය.
එහි නාමය විය. මේ කාරණය
සඳහා නිත නිතර කපුගේ අයියා හමුවීමට යන විට අපේ
අළුත් නිර්මාණ පිළිබඳවද ඔහු හා කතාවේ යෙදෙන්නට පුරුදුව සිටියෙමු.
මහින්ද කුමාර දළුපොත
හා
තිඹිරියාගම බණ්ඩාරත්
හඬ
විශාරද ගුණදාස කපුගේ,
ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ෂන
ටික කාලයකට පසු දිනක ඔහු
අප වෙත පැවසුවේ අළුත් නිර්මාණ එකතුවක් කිරීමේ අදහස තිබුණද විවිධ හේතුන් නිසා එය
දිනෙන් දින කල් යන බවත් කවදා කෙරේ දැයි විශ්වාස නැති බවත්ය.
යසනාත්
මල්ලි, අපි එකතු වෙලා ගීත ටිකක් කරමු. අපරාදේ මේ ගීත නොකර සිටින්නේ.
මෙය කණට මි පැනි මෙන් රස
කියමනක් වුවත්, ඒ සඳහා වන මුදල් සෙවීමේ කාර්යයේදී ඇඟට සහ මනසට ඇතිවිය හැකි අපහසුව
මා කාර්යයෙහි දුර්මුඛ කරවීය. ඊ ළඟ කරුණ නම් මා අත සුදුසු ගීත රචනා නොමැති වීමයි. (
හොඳයි කියා හිතා සිටි ඒවා නොහොඳ බව එදා වැඩමුළුවේදී අති ප්‍රවීනයෙක් විසින් කියූ
බැවිනි.). මා ළඟ හොඳ ගීත රචනා නොමැති බව කපුගේ
අයියා ට කී විට කපුගේ මට අයියා කීවේ
ඇයි යකෝ
උඹ ළඟ තිබුණු අර ගීත ටික????
කියායි. එවිට මම ඔහුට අර
විචාරකයාගේ කතාව කීවෙමි.
අනේ උගේ
විචාරය....බම්බුව.... උඹ ලැහැස්ති වෙයන්.
මමනෙ කියන්නේ.
මෙන්න මේ ඇරඹුමයි අවසන කිදුරු ගීතය නමින් සංයුක්ත තැටියක් කිරීම දක්වා
විහිදුනේ. කෙසේ වෙතත් ඒ දක්වා දුර යාමේ වැඩි බර ඇද්දේ පෙර හැඳින නොසිටි හඳුනා ගත්
පසු දැඩි මිතුරෙකු වූ සංගීතඥ නවරත්න ගමගේ බව යළිදු
මතක් කළ යුතුය.
දැන් වැඩේට ටික ටික
ලැහැස්තිය. වියදම් පාර්ශ්වය ගැන කතා කළ යුතුය.
කපුගේ අයියේ...
වියදම් කොහොම වෙයිද?
මම ගීත
දෙකක් සංගීතවත් කරලා දෙකක් ගයනවා. එකක්
මාලනී( මාලනී
බුලත්සිංහල)
ත් එක්ක යුග ගීතයක් විදිහට. මාලනී ට කියා
තනිව තව එකක් ගායනා කරවනවා. ඒක
එච්. එම්. (එච්.
එම්. ජයවර්ධන)
ට දෙමු
මියුසික් කරන්න. හැබැයි අපේ ගාස්තු නම් ටිකක් සැරයි.
අනතුරුව හක හක ගා මහා
හයියෙන් හිනාවකි.
ගාස්තු සැරයි කී කපුගේ අයියා සත පහක් වත් මා වෙනුවෙන් කළ සිය
දායකත්වය සදහා අය නොකළා පමණක් නොව පළමු පටිගත කිරීම අවසන ඊ ළඟ දිනයට ශබ්දාගාර
ගාස්තු යැයි කියා ඔහු අත තිබූ මුදලින්
රුපියල් දස දහසක් ද මටත් හොරෙන් ගෙවා තිබුණි. ඒ 1998 වසරේදීය. ඒ වසරේ දස දහසක් යනු
අද නම් ඉතා විශාල මුදලකි. අනෙකෙකුගෙන් පැතිය නොහැකි ඔහුගේ සමහර මැදිහත් වීම් එසේය.
දිනක් මේ මුදල් ආපසු
දෙන්න ගිය විටය කලා කරුවෙකුගෙන් මම මෙතෙක් ඇසූ හොඳම ශුද්ධ සිංහල ඇණුම් බැණුම් ටික
අසා ගත්තේ. ඒ බව මෙහි සඳහන් කරන්නේ ඔහු එය කළේ උදව්වක් ලෙස මිස ණයක් ලෙස නොවූ
හෙයිනි.
කපුගේ අයියා විසින් මේ ලෙස
උදව් උපකාර කළ තවත් බොහෝ අය එලෙස ක්ෂේත්‍රෙය් වන බව මම දනිමි. සමහරුන් ඒ ගැන කීවද
බොහෝ අය ඒ ගැන මුනිවත රකින බවද දනිමි. ඒ, ඒ අයගේ හැටිය. අර, කපුගේගේ හැටිය.
කපුගේ අයියා මගේ ගී
සඳහා තනු නිර්මාණය කරනු බලන්නට මා සමඟ දිනක්
සංගීතඥ නවරත්න
ගමගේ
ද එහි ගියේය.කපුගේ අයියා ගීතයකට තනුවක් නිර්මාණය කරන අයුරු දකින්නට නවා ට මහත් උවමණාවක් ඇති
වූ බැවිනි. කපුගේ අයියා විසින් සංගීතවත් කොට තනිව ගයන්නට තීරණය වී
තිබුණේ,
වැව්තාවල්ලේ
සුදු කොඩි බැඳලා
කාගෙද
මළගම කණ කොකුනේ
ගොම්මං
යාමේ වෙසතුරු දා කවි
හඬින්
ගයනවද කොරවකුනේ
ගීතයයි. මේ ගීතය එදා යොවුන් නිකේතනයේදී හොඳ ගීත රචනාවක් නොවේ යැයි ප්‍රතික්ෂේප වුණු ගීත රචනා පහෙන් කි. මේ පටිගත කිරීම සඳහා එහි අකුරකුදු වෙනස් කළේ නැත. එමෙන්ම අනෙක් ගීත හතරද අකුරකුදු වෙනස් නොකර පටිගත වූ බවද මෙහි ලියා තබමි. ලිවිය යුතු වෙසෙස්ම කරුණ නම්, මේ පටිගත කළ ගීත 5ත් රැගෙන අර ප්‍රවීන ගීත රචකයාගේ නිවසට ගිය අවස්ථාවක එම ගීත ඇසූ ඔහු කියා සිටියේ,
අන්න මල්ලි, මම එදා කියපු වෙනස ඔයා අල්ලගෙන තියෙනවා
කියායි.
අන්න මල්ලි, මම එදා කියපු වෙනස ඔයා අල්ලගෙන තියෙනවා
කියායි.
පද රචනය දෙස
බලා සර්පිනාව අතට ගත් කපුගේ අයියා මුල සිට
ගීතය සදන්නට හැදුවත් ඔහුට අවැසි තනුව ආවේ නැත.
ගීතයකට තනුව
එන වෙලාව ගැන එච්. එම්. අයියා කියුවා වගේ මතකයේ
ඇති කතාවක් මෙහි ලියමි.
මල්ලි,
තනුව එන වෙලාවයි මාරයා එන වෙලාවයි කාටවත් කියන්න බෑ.....
මේ ගීතයේ තනුව
එන වෙලාව ගැන නොවේ ගැටළුව වූයේ. තනුව අල්ලා ගන්නා තැනයි. කිහිප වරක් උත්සාහ කළ කපුගේ අයියා, මුල සිට ගීතය සෑදීම අතහැර දමා මැදකින්
පටන් ගත්තේය. ඔහු සර්පිනාව වයමින්,
සුදු
කොඩි බැඳලා......
සුදු
කොඩි බැඳලා...... ලෙස යෙදෙන වදන පෙළට සුදුසු කනුවක් යෙදුවේය.
ඊ ළඟට ඊට තව කොටස් එකතු කළේය....
සුදු
කොඩි බැඳලා......
සුදු
කොඩි බැඳලා......
කාගෙද
මළගම කණ කොකුනේ....
තනුව එතැනින්
ආවේය. දැන් මුලට යා හැකියි....
වැව්
තාවල්ලේ සුදු කොඩි බැඳලා
කාගෙද
මළගම කණ කොකුනේ....
ඉතින් ගීතයට ඒ
විදිහට තනුව නිමැවින. ගීතයේ තනුව හැදුනු හැටි එසේය.
ගීතය ලියැවුණු
හැටිය ඊ ළඟට ඇත්තේ.
කෙසේ වෙතත්,
මේ වැල් වටාරම් වලට අකමැති කෙනෙක් ඒවා මග හැර ගීත අසනු මැනවි.
අපේ
කිරි අම්මලා කිරි අත්තලා ජීවත් වුණේ කුරුණෑගල
දිස්ත්‍රික්කයේ ගම්වල. හරියටම කිව්වොත් පොතුහැර
මාවතගම සහ පොල්ගහවෙල
මාවත්තේ ය. කළේ ගොවිතැන ය. ඉතින් ඒ නිසා අපි
ගැමියෝ. ඒ වගේ ම ගොවි දරුවෝ. ඒ නිසාම ගොවියන්ගේ දුකේදි අපි බොහෝ සංවේදියි.
අපේ
දිස්ත්‍රික්කයේ වාරියපොල
පැනලා අනුරාධපුර
පැත්තට යනකොට, නිකවැරටිය
පැනලා ආනමඩුව පැත්තට යනකොට, හබරණ
පැනලා පොලොන්නරුව
දිහාවට යනකොට අහුවෙන්නේ හොඳටම වියලි කලාපය. මේ වියලි කලාපයේ ගොවියන්ට තම හේන්
කුඹුරු කරන්න වෙන්නේ අවට වැවු වලින් ලැබෙන ජල සලාකයෙන්. අදටත් මහවැලියෙන්
ජලය නොලැබෙන වැවු පිරෙන්නේ අහස් දියෙන්. ඉතින්,
අහස්
දිය නිසිලෙස නොලැබුණොත්.....
මහවැලියෙන්
කලට වේලාවට දියවර නොලැබුණොත්......
එහෙම
නැතිනම් වැස්ස වැඩිවෙලා, දිය
කඳ වැව් බැම්ම කැඩෙන තරමට රළුවෙලා, වැව්
බැම්ම බිඳී ගියොත්....
මේ
මොන දෙයක් වුණත් අවසානයට වෙන්නේ ගොවියන්ට ගොවි තැනට වතුර ටික නැතිවෙන එකයි.
මේ
සන්තෑසිය ගැන අපේ අතින් බොහෝ කවු ගී ලියැවී තියෙනවා.
ඔහු
ඉහළ රජයේ නිලධාරියෙක් වුවත් වන්නියේ ගැමි ජීවිතය පිළිබදව විනිවිද දුටු අයෙක්. ඔහු
ලියනවා මෙහෙම කවියක්.
අවුවට
මැරී කුඩ මස්සෝ කුණුවෙනවා
දිය
කලතමින් කණකොක් වැල පොරකනවා
අලිබෙටි
හරක්බෙටි වතුරට දියවෙනවා
අලියා
වැටුණු වැව මේ වැවු දිය බොනවා......
මේ
වැනි කවු ගීත එමටයි. උදාහරණයක් දෙකක් පමණයි මෙහි ලියන්නේ. එසේ කුමාරගම කවියා
කවියෙන් මේ ගැන කියද්දී මට මතක හැටියට
කුමාරදාස
සපුතනත්‍රී කවියා
තම ගීතයක මෙසේ කියනවා.
දර
මිටි බැඳගෙන නියඟය අවුළා
සූරිය
දෙවියෝ වැඩ ඉන්නේ
වැවක
දිරාගිය කඳ උඩ හිඳගෙන
කොකුනේ
- කාටද හිනැහෙන්නේ.......
සුනිල්
එදිරිසිංහයන් විසින් ගයන ඒ ගීතයේ කියැවෙන්නේ මේ කථාවම
නොවේද?
මගේ
ගීතයක් නොවුණත් ඒ ගීතය නොඅසා ගියහොත් අඩුවක් යැයි හිතෙන බැවින් අපි එම ගීතය අසා සිටිමු.
සූරිය
දෙවියෝ වැඩ ඉන්නේ නිකන්ම නොවෙයි. දරමිටිත් බැඳගෙන තව තවත් ගිනි අවුලමින්. මේ
ගිනියමින් වැව හිඳිලා ගිහිල්ලා. ඒ වැවේ දිරාගිය අත්තක් මත හිඳගෙන කොකෙක් හිනාවෙනවා
අප රචකයාගේ මනැසට මැවෙනවා. ඒ හිනාවෙන්නේ අසරණ ගොවි දරුවන්ටද යන්න රචකයා තුළ මැවුණු
සිතුවිල්ල වියයුතුයි.
මෙවන්
කව් ගී බොහෝයි. විවිධ රචකයින් තම සිතුවිලි සහ පරිකල්පන පරාසයතුළ එහි විවිධ
මානයන්ගෙන් ස්පර්ෂකර තිබෙනවා.
මගේ
අතින් ලියැවුණු මේ ගීතයත් එහෙම එකක්. එහි පද පෙළ මුළින්ම බලමු.
වැවු
තාවල්ලේ සුදුකොඩි බැඳලා
කාගෙද
මළගම කණ කොකුණේ
ගොම්මන්
යාමේ වෙසතුරු දා කවි
හඬින්
ගයනවද කොරවකුණේ...
ඔන්න
අර කිවුව වගේ දිය හිඳී ගිය වැවක් ළඟින් මම යනවා. මට පෙනෙනවා ඉතිරි ව ඇති දිය
සීරාවේ පණ රැකගන්නට උඩ පණින තිත්ත පැටවුන් රෑනක්. ඒ විතරක් නොවෙයි තිත්ත පැටවුන්
ගිල දමන්න ආව කණ කොකුන් රෑණකුත්. කණ කොකුන් වසා සිටින විට සුද පෙනෙන්නේ නෑ. හේතුව
උන්ගේ බාහිරින් ම තියෙන තටු සුදු පැහැ නොවී දුඹුරු පැහැවී ඇති නිසා. කණ කොකුන්
කියා කියන්නෙත් ඒ නිසා. කණ කොකුන්ගේ සුද පෙනෙන්නේ පියාඹන විට. මෙහෙම පියාඹන කණ
කොකුන් මට පෙණුනේ කාගෙ හරි මළගමකට ඇදපු සුදු කොඩි වගෙයි. ඉතින් කාගෙද මේ මළගම? දන්නේ නැති නිසා තමයි මම
ගීතයේ අහන්නේ කාගෙද මළගම කණ කොකුණේ කියලා.
ඒ
වගේමයි තව ටිකක් හැන්දෑ වෙනකොට ඒ හරියෙන් මට ඇහෙනවා කොරවකුන් රංචුවකගේ නාදයක්. මට
ඒක ඇහෙන්නේ හරියටම කාගෙහරි මලගමකදී ගැයෙන වෙස්සන්තර
ජාතකයෙහි කවි වගේ...මට කියන්න අමතකවුණා පැරැන්නෝ
මළගම් වලදි රාත්‍රිය පහන්වන තෙක්
වෙස්සන්තර ජාතකය සහ සඳකිඳුරු
ජාතකය කවිකර කියන්න පුරුදුවෙලා හිටි බව. ඉතින්
එතකොට ඒ මලගම කාගෙද? හොයල
බලමු කාගෙද කියලා....
ගැබ්බර
මහ වැවු කණ්ඩිය පුපුරා
දියවර
හිඳුනේ මොන පවිනේ
පිණිබර
නිල් දළු ගොයමට ගිනිලා
කිම
ඔරවන්නේ හිරු දෙවිඳේ....
ගැබ්බර
අම්මා කෙනෙකුගේ කුසක් වගේ පිරී තිබුණු මහ වැවේ කණ්ඩිය පුපුරා ගියේ කාගෙ පවටද කවුරු
කළ පවටද කියලා දන්නේ දෙවියන් කියලා කණ්ඩායමක් උඩ ඉන්නවානම් ඒ කණ්ඩායම පමණමයි. එහෙම
වුණාට පස්සේ හිරු දෙවියන් ඔරවන එරවිල්ලට පිණි බර ව නිලට තිබුණු දළු ගොයම දැවී අළු
වෙලා යනවා. ඒත් ඇයි හිරු දෙවිඳු එසේ පිණිබර නිල් දළු ගොයමට ගිනි තියන්නේ....හිරු
දෙවිඳු නොදැනද එයින් දැවී යන්නේ දළු ගොයම පමණක් නොවන බව අහිංසක දුප්පත් ගොවි ජන
හදවත් ද ඒ සමග ම දැවී යන බව....
රසබර
ගී සී පද ගොළු වීලා
යාය
පුරන් වී ඉඩෝරයේ
තොළ
කට තෙමනා දියවර යදිනා
නියං
කුරුල්ලෝ විලාප දේ....
ගොවි
ජනතාවගේ දොතොළට නිබඳව ම හුරු පුරුදු රසවත් හරවත් ගී සීපද ගැයෙන වට පිටාවක් ඔවුනට
ඉතිරිව තිබෙනවාද? තමන්
මුළු සේසත ම දියකර මුළු ගතේ ම දහදිය හෙළා අස්වැද්දූ කුඹුරු යායයි ඉඩෝරය විසින් දවා
හළු කළේ. මී ළඟ කන්නය පුරා, තම
අඹු දරුවන්ගේ කුස්, කුසගින්නේ
නොතබන්නට ඉටාගත් දහසකුත් එකක් බලාපොරොත්තු ද සමගිනි. ඔවුනගේ අහිංසක සිහිනය කෙත්
යායත් සමගම පුරන් වී ඇතිනම් කෙලෙස රස බර ගී සී පද ගයන්නද?
මේ
පුරන්වූ කෙත්යායට ඉහළ අහසේ විවිධ කුරුළු පන්ති විවිධ නාද පවත්වමින් ඉගිළ යති. මට
ඇසෙන්නේ ඔවුන් වියලී පිපාසයෙන් දැවී ගිය තොළ කට තෙමා ගැනීමට දියවර ඉල්ලා වැස්ස වළාහක දෙවියන් වෙත කන්නලවු කරන්නාක් සේ
ය. මේ කුරුළු පන්ති විසින් නාද දෙමින් කන්නලවු කරන්නේ නියගෙන් දා ගිය කෙත් යාය අසල
හිඳ පෑරුණු සිතින් අපේ පළාත්වල ගොවි ජනතාව කරණ කන්නලවුව ම නොවේද?
ඉතින්
මේ මළගම කාගෙද? මේ අපේ
ගොවි ජනතාවගේ ඉරණමේ මළගම නොවේද?
කාගෙද
මළගම කණකොකුණේ
ගොම්මන්
යාමේ වෙසතුරු දා කවි
හඬින්
ගයනවද කණ කොකුණේ...
ගැබ්බර
මහ වැවු කණ්ඩිය පුපුරා
දියවර
හිඳුනේ මොන පවිනේ
පිණිබර
නිල් දළු ගොයමට ගිනිලා
කිම
ඔරවන්නේ හිරු දෙවිඳේ....
රසබර
ගී සී පද ගොළු වීලා
යාය
පුරන් වී ඉඩෝරයේ
තොළ
කට තෙමනා දියවර යදිනා
නියං
කුරුල්ලෝ විලාප දේ....
පද
: යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර
සහ හඬ : විශාරද ගුණදාස කපුගේ.
වැවු
තාවල්ලේ සුදුකොඩි බැඳලා ගීතය මෙතනින් අසන්න.
-
යසනාත්
ධම්මික බණ්ඩාර -













No comments:
Post a Comment