Monday, February 29, 2016

6. කහට පැහැවුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා




කවි ගීත රසද? රස නම් ඒවා මොන රසද?


කලා නිර්මාණයක ඇති රස නවයක් ගැන අප අසා ඇත. ඒ සියල්ල සලකා බැලූ විට අපේ කවි ගීත තුලද ඒ විවිධ රසයන් ගැබුව ඇති බව විමසුමේදී පෙනී යයි.
සමහර කවි වල ගීත වල ඇත්තේ දුකයි. දුක කියන ගීත තුළින් මතුවන්නේ සෝකී රසයයි.
මේ දුක් කවියක්. දුක් කවිය ගීතයක් වුණාට පසුව එය දුක් ගීතයක්.
දැන් ඔන්න යළිත් පෙර මතකයක් අවදි කර ගත යුතු වෙනවා. මේ ගීතයත්, අර එදා, මහරගම යොවුන් නිකේතනයේ පැවැති ගීත රචනා වැඩ මුළුවේදී හොඳ ගීත රචනයක ගුණ නැතැයි ප්‍රතික්ෂේප වුණු ගීත රචනාවන්ගෙන් එකක්.
මගේ ගීවලට කවි වලට බොහෝ විට ගැබ් වුණේ අපේ ගම්වල අපට නිතර හමු වුණු ගැමියන්ගේ ගොවියන්ගේ දුක. ඔවුනගේ දුක්බර දිවි පෙවෙත ගැන.
දුක්බර ජීවිතය උරුම කරගෙන ජීවත්වෙන්නේ ගොවියන් ගැමියන් පමණක් නොවෙයි. අපේ රටේ වෙසෙන තවත් බොහෝ පිරිස් ගෙවන්නේ දුක් බර දිවියක්. එය එදාත් එහෙමයි. අදත් එහෙමයි. මේ ගීතයත් එවැන්නක්.
මේ ගීතය ලියැවුණු විදිහ පොඩි කතාවක්.
මේ ඒ කතාවයි.
ඔන්න අපි විශ්ව විද්‍යාලයේ 4 වන වසරේ වාර්ෂික විනෝද චාරිකාවෙ යෙදී ඉන්නවා.
ගමන යන්නේ සුන්දර සීතල නුවරඑළියට

ඉතින් ටික ටික කන්ද උඩරටට ළං වෙනකොට පරිසරය කෙමෙන් වෙනස්වෙලා තේ වතු යාය මැද්දෙන් ගමන් මග වැටෙනවා. තේ දළු නෙලන ළඳුන්ද අප නෙත ගැටෙනවා.
තේ දළු නෙළන ළඳුන් ද සුන්දර තේ යාය ද හසුවන සේ ඡායාරූප ගැනීමේ ආශාවක් සැමටම ඇතිවෙනවා. ඒ නිසා ඒ සඳහා ගමන් කරණ වාහනය නවතිනවා.

පිරිසක් සීතල පිරිසරයේ, සීතලේ දළු නෙළන තේ ළඳුන් හා පින්තූර ගන්නවා. සීතල නිසා මදක් රත් වී සිටි පිරිසක් මේ අතර ගීයක් අරඹනවා. තේ දළු නෙළන ලඳුන් ගැන ලියැවුණු යුග ගණනක් ජනප්‍රිය ගීය. 

උඩරට කඳුකර සිරියා පරදන - රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන - තේ දළු නෙළන ලඳේ....

මේ ගිතයේ හැටියට නම් මේ තේ දළු නෙළන ළඳුන් රූපයෙන් අගතැන්පත්. කොතෙක්ද කිවුවහොත් සුන්දර උඩරට කඳුකරයේ ඇති සුන්දරත්වය කැලේට වැටෙන තරමට ඔවුන් සුන්දරයි.
සුන්දර ඔවුන් තම සුන්දර දිගු ඇඟිලි තුඩු නවමින් දිගහරිමින් තේ දළු නෙළන්නේ මුවග සුන්දර සිනාවෙන් පුරවාගෙන. ඔවුන්ගේ දිවිය ඒ තරමටම සැහැල්ලු සුන්දර හැඩයකි.
ඒත් මට කල්පනා වෙනවා මේ කියන්නේ ඇත්තක්ද කියලා. මට මේක කල්පනා වුණේ එදාම නොවෙයි. මිනිස් ශ්‍රමය හා බැඳුනු දුක්බර ඇත්ත කතාව පිළිබඳව යම් අවබෝධයක් ලැබුණු දා සිට මෙවැනි දේ ඇසෙන දකින විට එය මගේම මනසින් ප්‍රශ්ණ කරන්නට පෙළඹුනේ ඊට බොහෝ කලකට පෙර සිට.එහෙත් එදා මේ කල්පනාව දැඩි වුණා.
උදේ පටන් රෑ වෙනතුරු තේ කූඩයේ බර දරමින් වකුටු වුණු කොන්දක් සහිත ගැහැණුන් පෙළක් තමයි මට පෙනෙන්නේ. ඔවුන්ගේ තොළ කට දවස පුරා හැපූ බුලතින් රතු පැහැති කළු පැහැයක් අරගෙන. ඔවුනගේ මුදු නොවැටුණු අතැඟිලිවල නියපොතු තේ දළු කහටින් දුඹුරු කළුපැහැ වෙලා.
මුහුණේ ඇත්තේ උහුලාගත නොහැකි විඩාවක සලකුණු. හිනාවක් දැකගන්න අමාරු තරමට ඒ මුහුණුවල ඇත්තේ විඩාවේ සලකුණුමයි.
ඉතින් මම කල්පනා කරණවා මෙවැනි මිනිස්සුන්ගේ මේ ජීවිත රටාව අර ගීතයෙන් කියවෙන තරමට සුන්දරද කියලා.. ඒ ගීතයේම තියෙනවා
රට පණ ගන්වන - ජාතිය සුරකින - ජාතිකධනය අපේ....
කියල කොටසකුත්.
ඒ කියන්නේ අපි හිස මුදුණින් පිළිගන්නවා මේ පිරිස මේ නෙළන්නේ ජාතික ධනය බව. එහෙත් එහි ප්‍රතිලාබ පෙරළා ඔවුනට  ලැබේද? එසේ ලැබුණේ නම් මෙවැනි ජීවන රටාවක් ද ඔවුනට උරුම විය යුත්තේ.
ඉතින් මම හිතනවා මෙම ගීතය පවතින සත්‍යය විකෘති කරණ ලද ගීතයක් කියලා. මම ඒ බව මගේ මිතුරන් හා ඇතු වුණු කතා බහේදී කිව්වා.
මම ගීත රචකයෙක් නිසා එම ගීතය විවේචනය කරලා නැවතුණොත් එය ද වරදක් වෙනවා. ඒ නිසා මම ඊට විකල්ප ගීතයක් ලියනවා. එහි පළමු පාදය පද මගේ මනස තුළ ගොනු වන්නේ ඒ අවස්ථාවේමයි. මම අතට හසුවුණු කොළ කැබැල්ලක එය කුරුටු ගානවා.

කහට පැහැවුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......



වැඩකරණ අතැඟිලිවල කහට නොතැවරී තියෙයිද? එහෙත් මෙහි කියන්නේ අතේ කහට තිබුණට හිතේ කහට නැති බවයි. එය ව්‍යංගාර්ථයෙන් කීමක් පමණයි. නෙලන ධනය ජාතියට පුද දී දුක් විඳින ඔවුන්ගේ හදවත් තුළ කහටක් නැතියි මම විශ්වාස කරන්නේ නෑ.
සමාජ අසාධාරණය සහ විෂමතාව පිළිබඳ ඔවුන් පන්ති නොගියට ඔවුනට ඒ බව නොවැටහෙතැයි මම සිතන්නේ නෑ.
ඒත් මම ඒක ඒ විදිහට කෙළින්ම කියන්නෙත් නෑ.
මේ දේවල් කොහොම කොහොම වුණත් හෙට උදෙත් ඔවුන් මේ දුකම විඳින්නට පැමිණිය යුතු වෙයි. දුකක් බව දැන දැනම පැමිණිය යුතු වෙයි. නොපැමිණිනුනොත් ජීවිතය ඊටත් වඩා දුක්ඛිත වන නිසායි.
වැඩි දුකෙන් බේරෙන්න අඩු දුක තෝරා ගත යුතුයි. අත පයේ රුදා දැණුනත් හෙට උදෙත් වැඩට පැමිණිය යුතුයි.

ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......


දළු උරේ බර පමණක් නම් ඔවුනට රැගෙන යාමට ඇත්තේ එය ඔවුනට මහ බරක් නොවෙන්න තිබුණා. ඒත් ඔවුනට දළු උරේ බරත් ජීවිතේ බරත් යන දෙකම රැගෙන යන්නටය වෙලා තිබෙන්නේ එකවර.
ඔවුනගේ හිතේ ඇත්තේ මොනතරම් බරක් වියයුතුද? එවැනි බරක් රැගෙන යමින් නෙළණ කහවණු ලෝබ නැතිව දෙන්නේ කොහොමද? ඒත් ඔවුන් ගීතයේ කියනවා එහෙම ලෝබ නැතිව දෙන බව. ඒක ඇත්ත නොවන බව තේරුම් ගැනීම රසිකයින් සතු කාර්යයක්.

මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....


කන්දට නම් සිනාසෙන්න අනන්ත කරුණු ඇති. ලස්සන දුහුල් මීදුම් ඔසරියේ පහස....රන් මිණි ලෙස දිදුලන පිනි යාය මීදුම් ඔසරිය වටා බඳින හවඩිය....
මේ කියන්නේ සුන්දර පරිසර වර්ණනාව ගැන...
මම හිතනවා අපි කඳු නම් මේ පරිසර වර්ණනාවෙන් මත්ව අපිද තුටු සිතින් සිනාසෙන බව. ඒත් ඒ අසරණයින් කඳු නොවී මිනිසුන් වූ බැවින් ඔවුනට ඉන් ලැබෙන මහඟු ඵලය කුමක්ද?
ඒ නිසයි ඔවුන් කියන්නේ නෙළන පින් ‍කෙතේ වාසි කිසිවක් තමන්ට නැතත් තමණුත් සිනාසෙන බව. කළ හැකි අන් යමක් නැති බැවින් සිනාසෙන බව.
 එහෙම සිනාසෙන අය දවසක් ලැබුණොත් මොනවා නොකරණු ඇතිද?
මම මේ පදවැල සංගීතවත් කරන්න දුන්නේ  
 එච්. එම්. ජයවර්ධන 
සංගීතවේදියාණන්ට. ගායනාකරන්න දුන්නේ 


විශාරද මාලනී බුලත්සිංහල  
මහත්මියට. ඒ යෝනාව කළේ 
 විශාරද ගුණදාස කපුගේ  
විසින්.
මේ ගීතය කරනවිට මාලනී අක්කාගේ හිතේ ලොකුවට තිබුණා එතැන් පටන් තේ නැටුම් වලට බොහෝ අය මේ ගීතය යොදාගනී කියලා. ඒ නිසාම මමත් එහෙමම හිතුවා. ඒත් ඒවා සිතුවිලි පමණයි. ඒක එහෙම වුණේ නෑ. ඒක එහෙම නොවුණත් අඩුම ගණනේ එම ජන කොටස විණිවිද දකින්න ගත්ත උත්සාහයට හෝ ප්‍රතිචාර ලැබෙයි සිතුවත් ඒකත් එහෙම වුණේ නෑ. මේ ගීත ගැන ඇති වුණු කතා බහ බොහෝම අඩුයි.
ඒත් ඒව එහෙම තමයි. ඒ නිසා  මා දුටු ඒ තේ දළු නෙළන ළඳුන් දකින්නයි ඔබට මේ කෙරෙන ආරාධනය.
දැන් යළිත් තැනක ලියා තිබුණු දෙයක් නැවත කියනු සිතු වුණා.
තමන්ගේම ගී ගැන තමන්ම කතා කිරීම.
තමන්ගේ ගී තමන් විසින් ම අගයා ගන්නේ නම් එය නොකළ යුතු බව මමද පිලිගන්නා දෙයක්. මේ අගයා ගැනිමක් නොවෙයි. සරල මතුපිට අකුරු වල හැඩ විතරක් පෙන්වනු නොරිසියෙන්, එහි ඇතුළට රිංගන්නට ඔබට කරණ ඇරියුමක් පමණයි.
මිනිහෙක් මල් පැලයක් සිටුවන්නේ මල් පිණිස. මිනිසෙක් අඹ පැලයක් සිටුවන්නේ අඹ පිණිස.



කහට පැහැ වුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......

ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......

මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....


පද: යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර: එච්. එම්. ජයවර්ධන.
හඬ: විශාරද මාලනී බුලත්සිංහල.
ගීතය අසමු.



සත් වන ගීතයෙන් හමු වන තෙක්,






-         යසනාත් ධම්මික බණ්ඩාර   -