Monday, January 11, 2016

1. නම් ලැබීම සහ අහිංසකාවිය ගැන



මෙම බ්ලොග් අඩවිය කිඳුරු ගීතය - යසනාත් ධම්මික බණ්ඩාර ගී පද සිත්තම් යන නමින් හඳුන්වන්නට විශේෂ හේතුවක් මට ඇත. ඒ  කිඳුරු ගීතය - යසනාත් ධම්මික බණ්ඩාර ගී පද සිත්තම් 16 නමින් ටොරානා ලේබලය යටතේ නිකුත් වූ මගේ ගී රැගත් සංයුක්ත තැටිය හේතුවෙනි. එහෙත් කිඳුරු ගීතය බ්ලොග් අඩවිය එම ගීත දහසයට සීමා නොකිරීමට මට සිත් විය. එබැවිනි මගේ සියළු ගීත නිර්මාණයන් වරින් වර එයට එක් කිරීමට සිතුවේ.
මේ එකී සංයුක්ත තැටිය වෙනුවෙන් නිර්මාණය වුණු කවර නිර්මාණයයි.



කිඳුරු ගීතය සංයුක්ත තැටිය නිකුත් වූයේ 1998 ය. එවිට මා ජ/පුර සරසවියේ, වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකි. 


අවසන් වසරේ වෛද්‍ය සිසුවෙකුව සිටියදී මේ කාර්යය ඉටු කරන්නට යාම දුෂ්කරක්‍රියාවක්ම විය. ඒ සඳහා වදනින් විස්තර කිරීමට අපහසු තරම් පාරමී පිරුවෙමි. බොහෝ අය මේ කාර්යයේදී මා උනන්දු කළ අතර, එහෙත්, වෛද්‍ය පීඨයේ සමහර සහෝදර සිසුනට නම් මෙය මහත් ප්‍රහේලිකාවක් විය. මේ හේතුවෙන්ම ඔවුන්ගෙන් එකෙකු හෝ කණ්ඩායමක්  මා පිළිබඳව අප පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ආචාර්යවරියට දන්වනු ලදුව ඈ වෙත මා කැඳවූයේ සමහර විට මගේ ඔළුව නරක් වී ඇතැයි යන අදහසින් විය හැකිය. මක් නිසාද යත්, වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකු සිහිනෙනුඳු කරන්නට නොහිතන දෙයක් මා කරන්නට සිතා ඇති බැවිනි. අනිවාර්යයෙන්ම මේ හේතුවෙන් මා අවසන් විභාගය අසමත් වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. එහෙත් වාසනාවට එය එසේ නොවීය. ලොකු කරදරයකින් තොරව එය සාර්ථකව නිම කරගන්නට ද හැකි විය.
මේ ව්‍යායාමය දුෂ්කරක්‍රියාවක් ම වූ බැවින් උකටලී වූ අවස්ථා නැත්තේ නොවේ. එහෙත් කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුව ඒවා කෙලෙසින් හෝ ජය ගන්නට වූ හැකියාවක්ද මා සතුව තිබුණෙන්, කිඳුරු ගීතය සිහිනයක් නොවී සැබෑවක් බවට පත් විය. ඒ  නිසාම ඒ ගැන මවිසින් මෙසේ එහි ලියා තැබීමි.


කිඳුරු ගීතය සංයුක්ත තැටියට ගීත 16 ක් අඩංගු වූ අතර, ඒ ගීත 16 න් වැඩි ගණනක් ගයනු ලැබුවේ එකල සිටි ප්‍රවීන සහ නවක ගායක ගායිකාවන් රැසක් විසිනි. ඒවා සංගීතවත් කළේ නම් ප්‍රවීන සංගීතඥයින්දෙතුන් දෙනෙකු පමණක් විසිනි. එහි වැඩි ගණනක් ගීත සිය මහඟු සංගීතයෙන් හැඩ කළේ එවකට නමට ඉදිරියෙන් යෙදෙන ප්‍රවීන යන විශේෂණ පදය හිමිව නොතිබූ නවරත්න ගමගේ මිතුරු සංගීතඥයා විසින් බව මතක් කළ යුතුමය. නවා ද සමග එතරම් නම් නොදැරූ සංගීතඥයින්ද එහි සංගීත නිර්මාණ කාර්යයේ යෙදුනි.


කිඳුරු ගීතය මගේ නිර්මාණ එකතුවක් වුවද, එය සංගීතඥ නවරත්න ගමගේගේ ද නිර්මාණ එකතුවක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඊට හේතුව නම්, එහි ගීත දහසයෙන් අටක්ම සංගීතවත් කිරීම ඉටු වූයේ ඔහු අතින් වීමයි. ඊට අමතරව, මනා ගායන හැකියාවක් ඇති නවා ගීත ගැයීමට එතරම් කැමැත්තක් නැත්තේ වුව, මගේ මහත් ඇවිටිල්ල නිසා ඔහු ගැයූ ගීයක්ද එහි වූ බැවිනි. මේ අනුව එම නිර්මාණ 16 න් 9 ක් ම ඉදිරියේ ඔහුගේ නම ලියැවෙයි. ඉතින් එය ඔහුගේත් නිර්මාණ එකතුවක් වන්නේ ම ය.



මේ කිඳුරු ගීතය හා බැඳුනු තවත් විශේෂයෙන් කිව යුතු දේද ඇත.
ඊට පෙර නවරත්න ගමගේ ගේ සංගීතයෙන් හැඩ වුනු ගී තනුවක් සඳහා මවිසින් පද වැල් ඇමිණූ, අප දෙදෙනාටම පමණක් නොව, ඔහොම හිනාවෙන විට නුඹ ලස්සනයි උමා ගීතයෙන් අතිශ්‍යයින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි සමන් ජයනාත් ජිනදාස ගේ එම ජනප්‍රියත්වය තව දුරටත් ඔසවා තැබූ ගීතය අසා යාම මැනවැයි සිතේ.

එහෙත් මේ ගීතය ගැන කියන්නට ටිකක් දිගු කතාවක් ද ඇත. එය කියවන්නට රිසි නම් කියවනු මැණවි. කියවන්නට මැළි නම්, නොකියවා සටහන අවසන ඇති ගීතය අසනු මැණවි.

මේ එම කතාවයි.
මෙහි ඇති විශේෂත්වය නම් මේ ගීතයේ තනුව නවා විසින් නිර්මාණය කළේ මවිසින් නවා ට මුණගැස්වූ විශ්ව විද්‍යාල ගායිකාවක් වෙනුවෙන් වීමයි. එහෙත් ඒ මේ පද පෙළ සඳහා නොව, වෙනත් පද රචනයකටයි. ඒ ජපුරේ නලමුදු සුවඳ ප්‍රසංගය සඳහා. අද ඇය විශේෂඥ වෛද්‍යවරියක්. එහෙත් එම තනුව එදා ඇය විසින් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමනු ලැබුවා. ඒ පද පෙළට වෙනත් තනුවක් යොදාගෙනයි ඇය ගායනා කළේ. 
ඇය විසින් අතහැර දමනු ලැබුවේ වුව එය ඉතා මධුරතර තනුවක්. ඇය එම තනුව ප්‍රතික්ෂේප කළේ ඇයිද යන්න අදටත් මට අපැහැදිලි දෙයක්. සමහර විට ඒ අපේ වාසනාවට විය හැකිය. ඒ කියන්නේ මම, නවා, සමන් ජයනාත්, අප තිදෙනාගේ ම වාසනාවට විය හැකිය.
එම ප්‍රතික්ෂේප කිරීම ගැන නවා ගේ  හිතේ කිසියම් සිත් තැවුළක් තිබුණා. එය පිලිගතයුතු දෙයක්. මොකද මේ තනුවේ ඇති ශක්තිය සහ රසය එය ඇසූ බොහෝ දෙනෙක්ගේ වෙසෙස් අගැයුමට ලක් වුණා. එවැනි තනුවක් ප්‍රතික්ෂේප වුණාම එහි නිර්මාණකරුවාට ඇති වන සිත් තැවුල ස්වභාවිකයි. සමහරවිට එහෙම වුණේ එකල නවාලට අපිට නමක් නොතිබුණු නිසාද කියාත් නොහිතුනා නොවේ.
දැන් මෙම තැවුළ නිවා අවුළ ලිහිය යුත්තේත් මවිසින්මනේ. එ නිසා මම නිතර මෙම තනුව අසමින් මුමුණමින් ඊට වචන අමුණන්න වෙහෙසුනා. කොපමණ වෙහෙසුනත් සාර්ථක වුණේ නෑ. එහෙත් එක් සැඳෑවක සැනෙකින් මේ ගීතයට වචන පෙළ ගැහෙන්න පටන් ගත්තා.

ගාන තෙල් සඳුන් වරලස - පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග - ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

මේ ගිතයේ වචනයෙන් වචනය ගෙන පැහැදිලි කිරීම අවශ්‍යයැයි මම හිතන්නේ නෑ. තුරුණු වියේ ප්‍රේමය පිළිබඳ මට ඇති සමහර අත්දැකීම් කටුක වුවත් තුරුණු වියේ ප්‍රේමයෙහි ඇති සුන්දරත්වය පිළිබඳව මට ඉවක් නොතිබුණා නොවෙයි. ඒ නිසා ඒ තනුව ටිකෙන් ටික මගේ හිතේ ඇන්දේ  යෞවන ප්‍රේමයේ සුන්දරත්වය පිළිබඳ චිත්‍රයක්. එම තනුව ඉල්ලා සිටියේ එවැන්නක් යැයි මට හැඟුනා.
මෙම ගීතයට මවිසින් යෙදූ වචන පිළිබඳව නවා මහත් සේ සතුටු වුණා. අපි ගීත නිර්මාණය කරන්න අත ගැසුවා පමණයි. අපට විශාල විශ්වාසයක් ගොඩ නැගුණා මේ ගීතය අපේ ගමන් මගේ පළමු අඩිය වනවා සේ ම එය බර අඩියක් වන බවට.  ඒ නිසා නවායි මමයි මේ ගිතයට සුදුසු ම හඬ කුමක්ද කියා කල්පනා කළා. ඒත් ඊට පෙර ගිතයේ ඉතිරි ටික ලිවිය යුතුයි. මම නැවත නැවතත්  තනුව අසමින් වචන ගැලපුවා.

සඳ හිනැහී එන යාමෙට - සුදු සඳ රැස් විලට බසින
සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

මේ ගීයට සුදුසු ම හඬ හොයමින් යන අපට ඊට මද කාලයකට පෙරාතුව මහත් ජනප්‍රිය වූ ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා ගීතය ගැයුන හඬ මතක් වුණා. එය ගායනා කළ ගායකයා වූ සමන් ජයනාත් ජිනදාසය මගේ ගීය ගැයුමට සුදුස්සා යැයි අපි සැනින් ඒකමතික ව තීරණය කළෙමු. 


අපි ඊට පෙර උහුව හඳුනාගෙන හිටියේ නෑ. නමුත් දැනගෙන හිටියා. ඔහු එකල සේවය කළේ පැල්වත්ත සීනි සමාගමේ ඉංජිනේරුවකු ලෙසය. ඔහු බොහෝ දුර බැහැර සිටි නිසා ගීතය ගැන කතා කිරීමට ඔහුව මුණ ගැසීමේ හැකියාවක් අපට තිබුණේ නෑ.
අප විසින් ඔහුට දුන් දුරකථන ඇමතුමෙන් ඔහුදු ටුවේ වචනවල වර්ණය පමණයි. තනුවේ රහ ගැන අවබෝධයක් ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත්තේ තාක්ෂනය අද මෙන් දියුණු අඩියක නොතිබුණ නිසා. එය ඔහුට අසන්න දෙන්නට හැකියාවක් අපට තිබුණේ නෑ.
ඔහු කෙළින් ම පැමිණියේ පටිගත කිරීම සඳහා සූදානම්ව . පටි ගතකිරීම සඳහා සූදානම්ව කියා කියුවේ ඒ සඳහා කැමැති වීම ගැනයි. පෙර කිසිදු වෙනත් සූදාමකට ඔහුට අවස්ථාවක් ලැබුණේ නෑ.
නුගේගොඩ, දෙල්කඳ, නෙකෝ ශබ්දාගාරය තුළයි එම පටිගත කිරීම සිදුවුනේ. ඔහු එම තනුව ඇසුවේ එදාම වුවත් ඉතා කෙටි පුහුණු වීමකින් අනතුරුව ඔහු විසින් ගයන ලද ගීතය මනරම් යැයි අපට හැඟුනා. ඒ සමගම අපට හැඟුනු දෙයක් වූයේ මේ ගීතය රසික සමාජය තුළ යම් පෙරලියක් කරණු ඇති බවය. එහි පළමු ගුවන් විදුලි වාදනය සිදුවුණේ සිරස එෆ්. එම්. සේවවේ අළුත් සිංදු වඩසටහනින්. ඒ අවස්ථාව ලබා දුන් නිහාල් වික්‍රම එදිරිසූරිය මහතාට මම ස්තුතිවන්ත විය යුතුය. අනතුරුව පසු දිනයේ එය සිරස ගුවන් විදුලියෙන් කිහිප වරක් ම ප්‍රචාරය වුණා. ඊටත් අනතුරුව අනෙකුත් සේවාවන්ටත් එය ලබා දෙනු ලැබුවා. විශේෂයෙන් වෙළඳ සේවයත්, ලක්හඬ ගුවන් විදුලියත් මතක් කළ යුතුයි.
සිතුවා සේම එම ගීතය ඊට සම්මාදම් වූ අපි තිදෙනාටම මේ සංගීත මාවත තුළ දිගු දුරක් ගෙන ගිය වාහනයක් වුණා.

ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

සඳ හිනැහී එන යාමෙට - සුදු සඳ රැස් විලට බසින
සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - සමන් ජයනාත් ජිනදාස

ගීතය අසන්න -


මගේ ගීත අතරේ වඩාත්ම ජනප්‍රිය වුණු ගීත අතරේ මෙය ඉදිරියෙන් ම තිබෙනවා. එයට හේතුව මෙම ගීය තුළ ඇති සරල, ගැමි කමට බර අදහස සහ එය ජන සංගීතයට සමීප මෙන්ම වත්මනට ගැලපෙන නව්‍ය සංගීත මුසුවකින් නිමවී ඇති නිසා යැයිද සිතන්නට හැකියි.


-         යසනාත් ධම්මික බණ්ඩාර   -

No comments:

Post a Comment