කිඳුරු
ගීතය බ්ලොග් අඩවියෙහි පළ වන්නේ කිදුරු ගීතය සංයුක්ත
තැටියේ සංගෘහිත ගීත දහසය පමණක් නොවන බව මම පෙර කිව්වා මතක ඇතැයි සිතමි. කිඳුරු ගීතය බ්ලොග් අඩවිය වෙන් වන්නේ මවිසින් රචිත
ගීත රචනාවලින් නිමැවුණු සියළුම ගීත වෙනුවෙනි.
කෙසේ වෙතත්, කිඳුරු ගීතය සංයුක්ත තැටියේ ආ සමහර ගීත කිඳුරු ගීතය බ්ලොග්
අඩවියේ පළමු ගීත කිහිපය ලෙස පළ කරන්නට මම සිතුවෙමි. එහෙත් ඒ අනු පිළිවෙලකට නොවේ.
මගේ කතාවට ගැලපෙන ලෙස ට ය.
මේ ගීත වලින් සමන්විත වූ
සටහන් මීට පෙර මගේ යසනාත් සිතුවිලි බ්ලොග්
අඩවියේදී ( http://yasanathsithuwili.blogspot.com/ ) පළ වූ බැවින් සමහර
විට කෙනෙකුට මේ ඒවා දෙවෙනි වර කියවීමක් විය හැක. එහෙත්, සමර සටහන් යළි, යම් යම්
වෙනස්කම් වලට බඳුන් කරමින් ලියන්නට වූ බවද සිහිපත් කරමි.
මුළින්ම මා ගීත ලියන්නට
යොමු වූ ආකාරය කියන්නට සිත් වේ. එය හරියටම මම කවි ලියන්නට යොමු වුණු ආකාරයටම ය.
එනම් අහම්බයකිනි.
මා උපන් ගෙයි කවියෙකු
නොවෙමි. පහළ අධ්‍යාපනය ලබන සන්දියේ මේ අපි කියන ආකාරයේ කවියක් කියවා වත් නොමැත. කියවා
ඇති කවියක් වී නම් ඒ පෙළ පොත් වල තිබූ ඒවාය. මා සිංහල උගත්තේ සාමාන්‍ය පෙළ දක්වා
පමණි. මා සිංහල වලට ලද උපරිම සහතිකය සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථයකි. මා පාසැලේදී සිංහල ඉගෙනීම සාමාන්‍ය පෙළින්
නතර වූවද, සිංහලෙන් ඉගෙනීම උසස් පෙළ දක්වාම කෙරුනි. අනතුරුව මා ඉගෙන ගත්තේ
ඉංගිරිසියෙනි. රාජකාරි කරන්නට යෙදුනේ මිශ්‍ර බසිනි.
මා උසස් පෙළ නිමවෙන තෙක්
වුව, කවියක් පද බැඳ නැත. මා කවියක් පබඳින්නට හිතනුයේ කවි නිමිති අවැසි තරමට තිබූ,
එහෙත් කවියක් පබඳින්නට තරම් මානසිකත්වයක් නොතිබූ අවාසනාවන්ත අඳුරු යුගයකදීය. ඒ
1988/89 යුගයේදීය.
එදා ඒ අඳුර දන්නේ දන්නෝ
පමණි. අප සිටි පීඩිත වාතාවරණය කුමන ආකාරයේ එකක්දැයි ඒ යුගයේ තරුණයින්ව සිටි අයද මි
පියන්ව සිටි අයද පමණක් දනී.
අද එකට සිටි මිතුරන් හෙට
නැති බව දැන ගන්නා විට, ඊ ළඟට එන දිනයේදී අහවල් තැන දැවෙන සිරුර අර අතුරුදන් වූ
මිතුරාගේ සිරුර වැනි යැයි කතා පැතිරෙන විට, එතැනට යම් දෝ නොයම් දෝ ය යන වේදනාව, ක්‍රෝධය
හා ජීවිත බිය මුසු සිතුවිලි හද පාරණ විට, කවි නිමිති ඇතත්, කෙලෙසෙ කව් ගී ලියන්නද?
ගමන් ගන්නා බස් රිය ආයුධ
සන්නද්ධ නිල ඇඳුම්ධාරීන් විසින් නවතන විට, ඒ නිල ඇදුම්ධාරින් කුමන හමුදාවකට
කණ්ඩායමකට අයත්දැයි හඳුනා ගත නොහැකි වන විට, සහෝදරයින් සේ කතා කරණුයේ නිල හෝ නිල
නොවන හමුදා සාමාජිකයින්ද? හමුදා සාමාජිකයින් සේ කතා කරනුයේ සහෝදරයින්ද යනුවෙන්
වෙන් කොටගත නොහැකිව දෙපසේම තුවක්කු කටවල් මැද බියෙන් සිටිනා විට කෙලෙස නම් කව් ගී
ලියන්නද?
එසේම එසේ බසයෙන් බිමට
ඇදගෙන ගෝනියකින් හිස වැසූ බිල්ලන් ඉදිරියෙන් ගමන් කරන්නට සලසා අද දවසේ බිල්ල
කවුදැයි සොයන විට, හෙට දවසේ බිල්ල වන්නට තමනටද ඇති ඉඩ ඇහිරී නැති වග මැවෙන විට කෙලෙස නම් කව්
ගී ලියන්නද?
එහෙත්, අපේ
කව් ගී ලිවීම ඇරඹෙන්නේ එතැනිනි. එවැනි වකවානුවක් තුළ ඇරඹෙන ඒ ලිවීමෙන් බිහි වූයේ
කවි වලට වඩා සටන් පාඨ වලට බර ඒවා බව මම හඳුනා ගන්නේ,
රත්න
ශ්‍රී විජේසිංහ
නන්දන වීරසිංහ
සෙනරත් ගොන්සල්කෝරාල,
දයාසේන
ගුණසිංහ
එරික් ඉලයප්පආරච්චි
ධර්මසිරි රාජපක්ෂ වැනි ප්‍රවීනයන්ගේ කවි කියවීමෙනි.
ඒ ඔස්සේ කෙමෙන් කෙමෙන් ඔප දමාගන්නට යෙදුනු කවිකම වඩාත් ඔපවත් කරගැනීමේ අවස්ථාව
ලැබෙන්නේ පසු කලෙක,
මහින්ද කුමාර දළුපොත
තිඹිරියාගම බණ්ඩාර
වසන්ත
දුක්ගන්නාරාල
කවි මිතුරන් හා ගෙවූ බෝඩිං ජීවිතය හේතුවෙනි. ඊටත් පසුව
නිලාර් එන්. කාසීම්
කුමාර
ලියනගේ
ආදී කවි මිතුරන්ගේ ඇසුරිනි.
මේ ටිකක් දිග
කෙටි සටහන, මා ගී ලියන්නට පෙළඹුන් හැටි කියන්නට ය. මෙසේ ලියූ කවි, පතන්බිම නම් වූ මගේ කවි පොතක් ලෙස දොරට වඩින්නට
නියමිතව තිබුණි. ( ඒ කවි මේ දිගුව ඔස්සේ ගොස් කියවිය හැකිය. http://pathanbima.blogspot.com/2015/12/blog-post.html ) ඒ මම ජ/පුර වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සමයේදීය.
එම උත්සවයට ලක
ලැහැස්ති වෙමින් සිටින අතරතුර, උත්සව වේදිකාවේ පසුබිම ගැන කතා කරන්නට කටුවන පියනන්ද සිත්තර හාමුදුරුවන්
බැහැදැකීමට උඩහමුල්ල ඩිපෝව අසල පිහිටි උන්වහන්සේගේ පන්සලට ගිය
විට අපට දැන ගන්නට ලැබුණේ
විශාරද ගුණදාස කපුගේ
මහතා
අසනීපයෙන් පසුවන බවයි. කපුගේ මහතාගේ කුලී නිවස
පිහිටියේ ඊට මද දුරක් ඔබ්බෙන් පමණක් වූ බැවින් ඔහුගේ සුව දොස් බැලීමට ද යන්නට
එවෙලේම තීරණය වුණි. අප යන විට කපුගේ මහතා
සිටියේ සරමක් පමණක් හැඳගෙන, නිවස ඉදිරි පිට පුටුවක් තබාගෙන වාඩි වී පුවත් පතක්
කියවමිනි. මම ඔහුව මුණ ගැසී තිබුණේ නැත. මහින්දත්
තිඹිරිත් ඔහුව හඳුනාගෙන සිටියහ.
අපි දුටු
සැනින් සිනා පෑ කපුගේ මහතා, ආ මල්ලිලා කොහේ යන
ගමන්ද මේ? එන්න එන්න යැයි අපිව පිළිගත්තේය. ආ ගිය තොරතුරු ඉතා කෙටියෙන් පැවසූ මහින්දත් තිඹිරිත්
අප කටුවන හිමියන් බැහැ දැකිමට ආ කාරණයත්, අනතුරුව කපුගේ
මහතාගේ අසනීප තත්වය අසා එහි පැමිණි බවත් සැල කළහ. කෙසේ වෙතත්, අපි, එම උත්සවය
සඳහා කපුගේ
මහතාට ඇරියුම් කිරීමට කතිකා කරගෙන නොසිටි බැවින් අපසු ඔහුට ඇරියුම් නොකරම යන්නට
පිටත් වන විට කපුගේ අයියා සිය හඬ අවදි කළේය.
දැන් කවදද
මල්ලි ඕක තියෙන්නේ? අපි දිනය කීවෙමු. මට පිටපතක් දෙන්නොක්. මම ගීත රචනා හැඩ හුරුව
තිබෙන කවියක් සංගීතවත් කර ගයන්නම්.
මෙය කිසි සේත්
බලාපොරොත්තු නොවූ දෙයක් විය. එහෙත්, ඔහු එසේ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් විය.
මේ ගීතයක් බවට
පත්වන්නට නියමිත මගේ පළමු රචනාවයි.
මේ ආරංචියත්
සමගම ඇතිවුණු පිබිදීම නිසා, උත්සවයට තවත් කවි දෙකක් ගීතවත් කොට දීමේ වගකීම
බාරගත්තේ දුකා ( වසන්ත
දුක්ගන්නාරාල ) ය. ඔහු එය නවරත්න ගමගේ නම්
මම නොදත් ඔහුගේ මිතුරෙකුට දී ඉටු කරන්නට පොරොන්දු විය. සංගීතය සහ හඬ සම්පාදනයේ
වගකීමද නවරත්න ගමගේටම පැවරූ බව ඔහු මට කීවේය.
එදා කපුගේ ගැයූ ගීතය වෙනත් හඬකින් වෙනත් අයෙකුගේ සංගීතයට
අද ගැයුනත්, එදා කපුගේ අයියා විසින් ගැයූ
ගීතයේ අපි පටිගත කරගත් කැසට් පටය අද අප ළඟ නැත. එය කණගාටුවට කරුණකි. එහෙත්, එදා නවරත්න ගමගේ විසින් සංගීතවත් කොට නිර්මාණය කළ ගීත
දෙකම පසු කලෙක නිසි ලෙස පටිගත ව මගේ කිඳුරු ගීතය සංයුක්ත
තැටියට ඇතුළත් විය.
දැන් අප
අසන්නට යන්නේ, එදා සඳමාලි දිසානායක සොයුරිය
විසින් එහි ගායනා කළ, පසුව කිඳුරු ගීතය සඳහා
ප්‍රවීන ගායිකා
ප්‍රදීපා ධර්මදාස
විසින් ගායනා
කළ කිරි හොරු නමැති ගීතයයි.
අපි සත්කෝරලේ මිනිස්සු. සත්කෝරලයට
බත් කෝරලය කියාත් කියන්නේ එහි කුඹුරු ගොවිතැන,
ගොවිතැන් වලින් ප්‍රධානම නිසා.
සත්කෝරලය ඊ ළඟට රජ රට
වියලි කලාපය දිහාවට විහිදෙනවා. සත්කෝරලයේ
කුඹුරු වැඩ කරණ විශාල ප්‍රදේශයක් අහස් දියෙන් වගා කරණ කුඹුරු. ඒ නිසා නියං කාලෙට ඒ
කුඹුරු ගිනි ඇවිලෙනවා.
මෙහෙම නියං
ගිනි ඇවිලෙනකොට දැවී යන්නේ ළපටි ගොයම, ළා තණගොබ,
නිල් තුරු වැල්, අහිංසක සිත්
සතන් පමණක් නොවෙයි. තවත් දැවී යන දේ
බොහෝයි. ඉතින් ඔය කිවුව වින්නැහියේ අනිවාර්ය ඵල විපාක ගැන තමයි ඊළඟ ගීතයෙන් මම
කියන්න උත්සාහ කළේ. ඒ ගීතයේ පද මෙහෙමයි.
යහ
බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ
හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු
පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත්
ද වියලී.........
මෙහෙම නිහඟය
නැති බැරි කමට වරම් දෙනවිට හිස ඔවසන රකුසෙක් ඉන්නවා. ඒ තමයි මන්දපෝෂන රකුසා. ඉතින්
මෙහෙම මන්දපෝෂණයෙන් පෙලෙන අම්මා කෙනෙකුගේ පපුතුර ඉළ ඇට කූඩුවට ම ඇලෙන තරම් වියලිලා
ගිහිල්ලා. එතකොට කෙහොමද ඒ අම්මා කිරි කළ හතක් පෙරා දරුවට පොවන්නේ...ඒ නිසා තමයි මම
ලිවුවේ
යහ
බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ
හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු
පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත්ද
වියලී
ඉතින් මේ
පුංචි සිඟිත්තා වෙනුවෙන් කිරි කළ හතක් පුරවපු ඒ කිරි බඳුනට මොකද වුණේ. මට හිතුණේ ඒ
කිරිබඳුන කවුරුන් හෝ සොරකම් කළා කියලයි. ඒ නිසා මම ඊළඟ කොටස මෙහෙම ලියන්නේ.
දුටුවාද
කියන් - නුඹ - කවුද සොරුන්
කිරි
බඳුන අරන් - වන වැදුණු සොරුන්
පුතු
සිඟිති මුවින් නඩු කියණු අසන්
සුදු
කෙකින්නියේ දුටුවාද කියන්.....
කුසගින්නේ හඬන
බිළිඳාගේ හැඬුම් හඬ මට ඇහෙන්නේ නඩුවකට කරුණු ගොණුකරණවා වගේ. ඉතින් මම එම නඩුව
අහන්න තීරණය කළා. මේ හොරකම සිදුවෙනවා දකින්නට ඇතැයි කියලා මට සැක හිතෙන කට්ටියක්
මෙතන ඉන්නවා. ඒ තමයි මේ කොකුන් රංචුව. ඉතින් මම ඒ කොකුන්ගෙන් ඇහැව්වා නුඹලාවත්
දුටුවාද කියලා ඒ සොරුන් කවුදැයි.
මම මොනවා ඇහැව්වත්
කොකුන් රංචුව ඇසින් දුටු සාක්ෂියක් කිවුවේ නෑ. ඒ නිසා මගේ සැකය වෙනත් අතකට යොමු
වුණා.
කිරි
සුදු ඇඳුමට - සුදු පාට කොහෙන්
සුදු
කෙකින්නියේ - ගෙන ආද කොහෙන්
පුතු
කිරි බඳුනේ - කිරි බිඳු සිඳුනේ
සුදු
කෙකින්නියේ - ගෙන ආද සොරෙන්.....
සුදු
කෙකින්නියන්ගේ කිරි සුදු ඇඳුමට සුදු ගෙනාවෙ කොහෙන්ද කියලා අහන්න මට හිතුණා. පුතුගේ
කිරි බඳුනේ කිරි සිඳුනේ ඇඳුමට සුදු තවරන්න
කොකුන් විසින් කිරි බඳුන සොරකම් කළ නිසාදැයි මම අන්තිමට ප්‍රශ්න කරණවා.... ඉතින්
විෂම පරිසරයේ නිර්ධය පහර කෑමට ලක්වූ නිර්ධනීන් පිරිසකගේ ශෝකාලාපය මම තවත් පාරිසරික සාධක කිහිපයක් අනුසාරයෙන් ප්‍රශ්ණ
කළා.
යහ
බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ
හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු
පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත්ද
වියලී........
දුටුවාද
කියන් - නුඹ - කවුද සොරුන්
කිරි
බඳුන අරන් - වන වැදුණු සොරුන්
පුතු
සිඟිති මුවින් නඩු කියණු අසන්
සුදු
කෙකින්නියේ දුටුවාද කියන්.....
කිරි
සුදු ඇඳුමට - සුදු පාට කොහෙන්
සුදු
කෙකින්නියේ - ගෙන ආද කොහෙන්
පුතු
කිරි බඳුනේ - කිරි බිඳු සිඳුනේ
සුදු
කෙකින්නියේ - ගෙන ආද සොරෙන්.....
පද: යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර: නවරත්න ගමගේ.
හඬ: ප්‍රදීපා ධර්මදාස.
යහ
බොජුන් වැරී ගීතය මෙතනින් අසන්න.
- යසනාත් ධම්මික බණ්ඩාර -





















