Sunday, March 31, 2019

උයන අඳුරුද? ගඟට රිදුනිද? ඈත කඳුවැටි පෙළට දැනුනිද?

උයන අඳුරුද? ගඟට රිදුනිද? ඈත කඳුවැටි පෙළට දැනුනිද?




මම සංගීතඥ 


අරුණ ගුණවර්ධන 
ව හදුනා ගන්නේ අරුණව හඳුනාගත යුතු මුල් අවස්ථාවේ නොවෙයි. පසුවය. මම මුළින්ම හඳුනා ගන්නේ අරුණ පණ්ඩිත් අමරදේවයන්ට කළ ගිමන් හරින දියඹ දිගේ ගීතයයි. එහෙත් ඒ අරුණ කළ ගීතයක් සේ නොවේ. වෙනත් කවුරුන් හෝ කළ එකක් වශයෙනි. ඒ වෙනත් කවුරුන් හෝ වුව කවුරුන්දැයි මම දැන නොසිටියෙමි. ඒ කියන්නේ මම හිතා හිටියේ කිසියම් අපි දන්නා සංගීත ක්ෂේත්‍රෙය් ප්‍රබලයෙක් එය කරන්නට ඇති කියායි.

ගීතයට මොන තරම් ප්‍රිය කළේද යත් එහි සංගීතඥයාට පෙර එහි රචකයාද කවුදැයි දැන ගත්තෙමි. එය සාමාන්‍යෙයන් වන පිලිවෙල නොවේ. ඊට පසුව වුව එය සංගීතවත් කළේ කවුරුන්දැයි සොයන්නට අවැසි නොවුනි. ගීතය අපේ වී හමාරව තිබු නිසාවෙනි.

පසුව  


අමරදේවයන් සහ උමාරියා 
ගැයූ හන්තාන සිහිනේ ගීතය බොහෝ කලක් ඇසුවේ වුව එය සංගීතවත් කළේද අරුණ බව නොදැන සිටියෙමි. ගීත පිළිබඳව අවදියෙන් සිටින අයෙක් වශයෙන් එහි අනෙකුත් නිර්මාණකරුවන් කවුරුන්දැයි නොදැන සිටීම වරදක් වුව ඒ මගේම වරද නොවේ. ඒවාට අරුණලාම 
 ජානක සිරිවර් 
ලාම වග කිවයුතුය. මක් නිසාද යත් සිය ප්‍රතිරූපය සිය නිර්මාණයෙන් වැසී යන තරම් ප්‍රබල නිර්මාණ දෙකක් ජනගත කළ බැවිනි. 

එහෙත් කලකට පසුව මේ නිර්මාණ ද්වයම අරුණ ගුණවර්ධන ගේ සංගීතයෙන් ඔපවුණු, හැඩවුණු නැළවුණු ඒවා බව දැන ගතිමි.

අනතුරුව අපිව සම්මුඛ කළේ මුහුණු පොතයි. ගීත ගැන අදහස් හුවමාරු කරගන්නා අතරේ මිතුදමක් සොයුරු දමක් ගොඩ නැගුණි. එක් අවස්ථාවක ඔහු කීවේ අයියා දන්නේ නැතිව ඇති අපි පොඩි කාලේ අයියා ලියූ වළාකුළු පෙළින් බසින්න ගීතය අපිව පිස්සු වට්ටපු එකක් කියායි. ඒ අතරේම මා ලියූ ගීයක් සංගීතවත් කරන්නට ඇති ඔහුගේ ප්‍රියතාවද ප්‍රකට කෙරුණි. ඒ ආශාව මටද වන බව මමද ප්‍රකට කිරීමෙන් අනතුරුව ඒ කුමන වර්ගයේ නිර්මාණයක්ද යන්න යම් කෙටි කතා බහකට ලක් වුණි.

මා කියූවේ හන්තාන සිහිනේ වැනි වූ ආකාරයේ ගීතයකට මම තවමත් ප්‍රිය බවයි. එයම නොවන එහි ඡායාවන් වැටුණු එකක් නම් වඩාත් කැමැති බවයි. මා ලියන ගීතයේ පරිසරයද එයම වන බවයි. අත්දැකීම යම් මිශ්‍ර අදහස් දරණ බවයි. මේ දැන් ඔබ අසන්නට යන 

පතමි නොගැටෙන ලෙසට කිසි දින
සොඳුරු ඔය මුව කමළ මා දෙනෙතේ

ගීතය ලියන්නේ ඒ අනුවය. ඒ වර්ෂ 2016 යේ යම් දිනකය. එය අරුණ අත තබන්නේද, අරුණ ඊට අත තබන්නේද ඒ තරම් ඈත කාලයකදීය. එසේම එය පටිගත වන්නේද 2016 අවසාන භාගයේදී පමණය. නමුත් එය ගීතයක් ලෙස එළියට එන්නේ 2019ත් මාර්තු මස අගදීය.

හන්තාන සිහිනේ ගීතයේ කියැවෙන්නේ හන්තාන අස සරසවියේ ඉගැන් වූ වියපත් ඇදුරෙකුගේත්, එහි උගත් මානවිකාවකගේත් අසම්මත ප්‍රේමයක් ගැනය. එහෙත් මෙහි ඇත්තේ එවන් අසම්මත ප්‍රේමයක් ගැන නොවේ. මෙහිද ඇත්තේ ඉහත අයුරින්ම එහිම විසූ ඇදුරෙකුගේත්, එහිම උගත් මානවිකාවකගේත් ප්‍රේමයක් පිළිබඳවමය. නමුත් ඔවුන් දෙදෙනා අතර ඇත්තේ අසම්මත පෙමක් නොවේ.

ඔවුනට බාධාවකැයි ඔහු හිතන්නේ ඔහු සහ ඇය අතර වන වයස් පරතරයයි.

සිවු වසක් ඇවෑමෙන් ඇය සරසවියෙන් නික්ම යයි. ඔහු නික්මෙන්නේ නැත. ඔහු සිතන්නේ ඇයට සමු දිය යුතු බවද? ඇය සමුගනු ඇති බවද? යන කුකුස පිරි හැඟීම් පිළිබඳවයි. 

එහෙත් ඇයට එවන් කුකුසක් නොවෙයි.

මේ සංවාදයය ගීතයෙන් නිරූපනය වන්නේ.

ගීතය ගැන දිගු අදහස් මා දැක්වීම නිසි නොවේ. එය ඔබ දැක්විය යුතු දෙයකි.

ගීතය ගැන මතක් කිරීමේදී හන්තාන සිහිනේ මතක් කළේ මේ ගීය ඒ මට්ටමේ තැබීමේ පූර්ව උත්සාහයක් නිසාවෙන් නොවන බව වටහා ගනු මැණවි. ගීතයට නිමිති සෙවූයේ එය නිසා බැවිනි. 

ගීතයට සුමියුරු සංග්‍රහය කළ අරුණ ගුණවර්ධන සොහොයුරන්ටත්, එයට සිය උපරිම හඬ සම්මාදම නොමසුරුව කළ 
ප්‍රවීන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ 
අප ජේෂ්ඨ සොහොයුරන්ටත්, සිය මිහිරි තුරුණු හඬින් ගීතයේ අදහස මතු කළ  


ලක්ෂනා ලක්මිණි 
නැගණියන්ටත් මගේ ප්‍රණාමය.

ගීතය අසමු.





       - යසනාත් ධම්මික බණ්ඩාර    -

Tuesday, January 22, 2019

පාලොස්වක සඳක කතාවක්...

දුෂාන් කරවිට Dushan Karawita මට හමුවෙන්නේ ගීතයක් වෙලා අසන මගේ පළමු පද රචනයට සංගීත සපයන්නට ආව මම නොදන්නා මල්ලි කෙනෙකු විදිහට. මේ මල්ලි එන්නේ මම නොදන්නා සංගීතඥයෙක් වෙන නවරත්න ගමගේ Navarathna Gamage සමග.

ඒ දෙදෙනාම එන්නේ මම දන්නා, මගේ බෝඩිං සගයෙකුද වූ වසන්ත දුක්ගන්නාරාළ Wasantha Duggannarala ගේ සම්බන්ධීකරණයෙන්.

ඒ නිසා මගේ ගීතයක් ඇසූ පළමු දවසේම එහිදී මම දුෂාන්ගේ වැයුමත් ඇහැව්වා.

මට ඌෂානි ඉනෝකා පෙරේරා හමුවන්නේ අර එදින හඳුනාගත් නවරත්න ගමගේගේ නිවසේදී. ඌෂානි නවාලගේ නිවස අසලම පදිංචිව සිටි නවාලගේ ඥාතියෙකුත් වෙන නැගෙණියක්. එකල ඇය උසස් පෙළ සිසුවියක් හෝ ඊටත් පහළ සිසුවියක් හෝ වෙන්නට ඇති. ටිකක් කළක් යන විට ඌෂානි අනාගතයේදී ඌෂානි ඉනෝකා පෙරේරා කරවිට Ushani Inoka Perera Karawita වන බව දැන ගත්තා. ඒ ඇය දුෂාන්ගේ පෙම්වතිය වූ නිසා.

කාලයක් දැක හඳුනන ඔවුන් පසුව කාලයක් දුරස් වුණා. අනතුරුව මුහුණු පොත විසින් නැවත ළං කළා.

මේ කරවිට ජෝඩුව විදේශයක සිට අප හා මිතුරු සම්බන්ධකම් පැවැත්වුවා. ඒ හා සමගම අතීත සංගීතමය මිතුදමද අලුත් කර ගැනීමේ යෝජනාවක් ගෙනාවා.

මගේ අහසින් පාලොස්වක
සඳ අරගෙන නුඹ ගියාම නුඹේ කැදැල්ලට

යන සෑහෙන කලකට පෙර ලියූ ගීතයක් යළි සකසා ඈට දෙන්නේ ඒ අනුව. මේ ගීතය සංගීතවත් කරන්නේ පෙර මගේ ගී 2-3ක් සංගීතවත් කර මගේ ප්‍රසාදය දිනූ ප්‍රසන්න සංජීව Prasanna sanjeewa  විසින්.
එය සිත්ගන්නා සුළු හැඟුම් බරව ගැයිය යුතු අසීරු තනුවක් සහිත ගීතයක්.
ඌෂානි ඒ අසීරු තනුව සීරුවෙන් ජය ගත්තී සිය ගීත එකතුවට මගේ ගීතයකුත් එක්කර ගන්නීය.
ස්තුතියි, දුෂාන්, ඌෂානි, ප්‍රසන්න.


Monday, October 15, 2018

කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී




ඉස්සර අපේ ගම්වල අම්මලා තමන්ගේ කුසට අහරක් ගත්තේ ගෙදර සියළු දෙනාටම ආහාර බෙදා අහවර කිරීමෙන් පසුවයි.
සමහර විට දංකුඩ මුසු බත් වෑංජන අප්පල්ල වල අඩිය පිස ගැනීමෙන් ලැබෙන බත් මිශ්‍රණයයි ඔවුන් අනුභව කරණු ලැබුවේ.
මේ තත්ත්වය පුරුෂ මූලික සමාජයේ පුරුෂාධිපත්‍යයේ හේතුවෙන් සිදුවන අකටයුත්තක් සේ ය පසුකාලීනව සමහර අයවලුන් දුටුවේ.
එහෙත්, ගමේ ගොඩේ තොරතුරු නිසි ලෙස දන්නා අය නම්, එය පුරුෂයින්ගේ බලපෑම නිසාවෙන් වූ දෙයක් නොවන වග දනී.
එකල ගෙදරට බත සරි කළේ ගෙදර පිරිමියායි. ඒ නිසා ගෙදරට බත සරිකරණ පුද්ගලයාට පළමුව කන්නට දිය යුතු යැයි ඔවුන් සිතුවේ කාගේ වත් බලපෑම නිසා නොවේ.
ඊ ළඟට මේ අම්මලා තමන්ට පෙර දරුවන් ගැන සිතූහ. අර තමන්ට පෙර සැමියාට බත දුන්නේ බලපෑමෙන්ය සිතන අය තමන්ට පෙර දරුවන්ට දුන්නේද බලපෑවේය ලෙසින් නොසිතීම ඒ අනුව වටහා ගත නොහැකිය.
කෙසේ වෙතත්, මේ ඒ ගැන වාද විවාද කිරීමට වේලාව නොවේ. එය අන් වේලාවකදී කරමු. දැන් අපි ගීතයක් ගැන අදහස් ටිකක් හුවමාරු කරගනිමු.
ගීතයක් කිව්වාට මෙතැන ගීතය නැත. මෙතැන ඇත්තේ වචන ටික පමණි. ගීතය ඇත්තේ එය ගැයූ  


වෛද්‍ය ආනන්ද ගුණසේකර  
මහතා ළඟය. එබැවින් එය මෙහි අමුණන ලෙසට අපි ඔහුට ඇරියුම් කරමු.

නුඹ මාල ගිරවි රන් ගෙළ වට මාල අහිමි වූ
දහදිය මුතු මාල සතයි ගෙළ දිදුලන්නේ
රන් මාලය භයානකයි හොරු ගෙනියන්නේ

මේ ගීතය ලියන්නට පෙළඹුනේ ඉහත මා යම් මට්ටමකින් සාකච්ඡා කරන්නට යෙදුනු පැරණී ගම්වල අම්මලාගේ පිලිවෙත ගැන සිත් හි තබා ගනිමිනි. එවන් අම්මා කෙනෙක් මට පෙනුනේ එක්තරා දුරකට කූඩුවක සිටින ගිරවියක් ලෙසටය.
මේ ගිරවියගේ ගෙළෙහි මාල නැත. මාල නැත්තේ අන් කරුණක් නිසාවෙනි. එහතේ ඒ අන් කරුණ නොකියා ඊට අපි හේතු කියන්නේ රන් මාල පැළඳීම අනතුරුදායක විය හැකිය කියායි.
ඇය වෙසෙන නිවස අපි කූඩුවක් යැයි සිතමු. එහෙත් භෞතිකව මේ කූඩුවේ දොරටු වසා නැත. දොරටු වසා නැති කූඩුවේ ඇය කූඩුවෙන් ඉවතට නොයා යම් යම් දුෂ්කරතා අත් විඳී. ඒ බලපෑමක් නිසා නම් නොවේ. එළඹෙන නිසා මුහුණ දිය යුතු බැවිනි. එහෙත්, ඇය ස්වේච්ඡාවෙන් එදුක් කඳින් වැඩි කොටස තමනට බෙදා ගනී.

නුඹ පුංචි මාල ගිරවී - කූඩුවේ සිටින තනිවී
බත් නොකෑවත් ඇසූ විට බත් කෑව කියන ගිරවී
හිමි සඳට නොනිමි පෙමිනී දරු ගැබ් රකිනා ගිරවී
ගැබ්බරේ සිටින දාටත්
යහ බොජුන් වරණ සොඳුරී

ඇය කරණ කැපවීම් බොහෝය. ඒ යව්වනය ගෙවන සිය ජීවිත වල ප්‍රාර්ථනා වෘක්ෂයන්ගේ මල් පුබුදිනු දකිනු රිසිනි. ඔවුන්ගේ පැතුම් තරගේ මල් යනු, දුවා දරුවන්ය. සිඟිති දොතොලග සිනහ වෙනුවෙන්, ඇය කැමැත්තෙන්ම දුක් ඉවසන්නීය.

යව්වනේ පැතුම් තුරෙහී මල් සිනා දකිනු රිසිනී
දුක් දැරූවත් හඬා සිත
මුව නිසා පුරණ සොඳුරී
නිදහසේ ගීත අසිරී දැන දැනම සිටින සිරවී
කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී

මෙම ගීතය මතක හැටියට සංගීතවත් කළේ එකල සිහ ශක්ති කණ්ඩායමේ නායක  


සංගීතඥ ආනන්ද පෙරේරා  
විසිනි.

නුඹ මාල ගිරවි රන් ගෙළ වට මාල අහිමි වූ
දහදිය මුතු මාල සතයි ගෙළ දිදුලන්නේ
රන් මාලය භයානකයි හොරු ගෙනියන්නේ

නුඹ පුංචි මාල ගිරවී - කූඩුවේ සිටින තනිවී
බත් නොකෑවත් ඇසූ විට බත් කෑව කියන ගිරවී
හිමි සඳට නොනිමි පෙමිනී දරු ගැබ් රකිනා ගිරවී
ගැබ්බරේ සිටින දාටත්
යහ බොජුන් වරණ සොඳුරී

යව්වනේ පැතුම් තුරෙහී මල් සිනා දකිනු රිසිනී
දුක් දැරූවත් හඬා සිත
මුව නිසා පුරණ සොඳුරී
නිදහසේ ගීත අසිරී දැන දැනම සිටින සිරවී
කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී.

ඉස්සර අපේ ගම්වල අම්මලා කියලා කතාව ඇරඹුවාට,
අදටත්,
අපේ ගෙදරත්,
අපේ බිරිඳත්,
මේ විදිහ තමයි.
ඔබේ ගෙදරත්  ඒ විදිහම වෙන්න ඇති.
අපි මුළින්ම අපට දියව් කී නිසා නොවේ. ඔවුන් සැනසෙන එක් විදිහක් එයත්.



-      යසනාත් ධම්මික බණ්ඩාර    -