ප්‍රේමයේ සොඳුරු අත්දැකීම් වලට වගේම යොවුන් වයසේදී ප්‍රේමයේ
අඳුරු අත්දැකීම් වලටත් කෙනෙකුට මුහුණ දෙන්නට විය හැකියි. වියෝ දුක සාමාන්‍ය
මිනිසෙකු තුළ ශෝකය වේදනාව සහ සමහරවිට වෛරය ක්‍රෝධය වැනි හැඟීම් ජනිත කළත් එම හැඟීම් දමණය කරගත් ගීත රචකයින් ගේ කවියන්
ගේ හිතේ ජනිත කරන්නේ ඉන් රසයක්. ඒක තමයි ශෝක රසය. නාට්‍ය කලාවේදී නව නළු රස ලෙසින්
මෙවැනි ම විවිධ රසයන්ගැන විග්‍රහ කෙරෙනවා. නව නළු රස අතරට ශෝක රසයත් එක්වෙනවා.
කවියා ගීත රචකයා යම් ශෝකය දනවන අත්දැකීමක් හෝ අත්විඳීමක්
සිය නිර්මාණ තුළට ගොනු කර ගනිමින් ඒ ඔස්සේ අන්‍යන්ටද එය දනවන්නට සමත් වෙනවා. එය
හුදු ශෝකය ලෙස නොව ශෝක රසය ලෙසිනුයි ඔහු ගෙනහැර පාන්නේ.
මගේ කවි ගීත බොහෝමයක පසු කලෙක රසයක් බවට පෙරළූ ළසෝ දුක
ගැබ්වුණා. යොවුන් වියේ සමහර අත්දැකීම් ද අත්විඳීම් ද මේවාට හේතුවෙන්නට ඇති. ඒ ලෙස
ම යොවුන් වියට පෙර සිට ම, සමීප කිසිදු අත්දැකීමක් නැතිවත් අසන්නට අතිශයින් ප්‍රිය
කළ පිය විප්පයෝගය පිළිබඳව ලියැවුනු ගී දහස් ගණනක්ද එවැනි කව් ගී ලිවීමෙහි ලා මා
පොළඹවන්නට ඇත.
දිනක් මම කවියක් ලියුවා මෙහෙම.
නුඹේ නෙත් තරු වගේ
නුඹේ වත මලක් වගේ
නුඹේ සිත හරි මෙලෙක්.....
මේ ඒ කවිය ම නොවේ. එහෙත් එදා මම ලියූ කවියේ අර්ථය
එවැන්නක් වුණා. ඒ කවිය දැන් මට හරියට ම මතක නෑ.
මෙවැනි කවි ලියා කාලයක් ගියාමනේ මෙවැනි කවිවල ඇති මෙවන් වර්ණනා සැබෑ ස්වරූපයට නොගැලපෙන
බව වැටහෙන්නේ. අනතුරුව මම ඒ ඇසුරින් ම ලියූ ගීතයේ මුළ් පද පෙළ විමසා ඒ ගැන කථාවට
මුළ පුරමු.
නුඹේ නෙත් තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයි ද ගිනිගෙන දවන්නේ....
එදා ඒ කවියේ තිබුණේ ඇයගේ නෙත් තරු වගේ කියලා. නමුත් පසු
කලෙක ඒ තරු නෙත් යොවුන් හදවතක් දවා හළුකර දැමුවේ නම්....?
මම ම ලියපු කවිපද මගෙන් ම
විමසනවා ඒ දෙනෙත් තරු නම් ඇයි මේ විදිහට දවා හළුකර කරන්නේ කියලා.
නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම අද
මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයි ද කටු ලෙස ඇනෙනනේ.....
එදා ඇගේ වත මඬල දුටුවේ මලක් වගේ. ඒ තරම් සුන්දර සියුමැලි
මලක් ලෝකයේ වෙන කොහේවත් ඇතිද. තුරුණු සිත් සිතන්නේ එහෙම තමයි. තුරුණු පෙම්වතා තුරුණු
කවියෙකු වුණොත් තත්වය තවත් උග්‍ර විය හැකියි. ඉතින් එහෙම මම ම ලියපු කවු ගී මගෙන්
ම අහනවා මලක් නම් ඒ මුහුණ ඇයි මෙහෙම කටු වගේ ඇනෙන්නේ කියා.
නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....
එදා ඒ සිත තරම් මුදු මෙලෙක සිතක් අන් කොහේ නම් තිබුණේද?
ඒ නිසාමයි නුඹේ සිත හරි මෙලෙක
යැයි මගේ කවියට නැගෙන්නේ. වසර ගණනකට පසු එවැනි සිතක් නොතිබුණු බව ඔප්පු වුවහොත් අර
විදිහට ලියූ කවි පද නොවමසාවිද ඒ සිත ඒ
තරම් මෙලෙක් වුණානම් ඇයිද හිස වැදුණාම
රිදෙන්නේ කියලා.
මේ ගීතය මම ලියා දුන්නේ ගායක
ලක්ෂ්මන්
විජේසේකර
යන් ගේ “රෑ තරුවී“ කියන ගීත
සංග්‍රහය සඳහා. මෙහි තනුව සහ ගායනය ලක්ෂ්මන්
විජේසෙකරගේ. සංගීතවත් කළේ
ආචාර්ය රෝහණ වීරසිංහ
යන්
විසින්.
නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පදම අද මගෙන් විමසාවී
දෙනෙත් තරුනම්
ඇයිද ගිනිගෙන දවන්නෙ....
නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම
අද මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයිද කටු ලෙස ඇනෙනනේ..
නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව සහ ගායනය: ලක්ෂ්මන්
විජේසෙකර.
සංගීතය: රෝහණ වීරසිංහ.
නුඹේ නෙත් තරු ගීතය අසමු.
-
යසනාත් ධම්මික බණ්ඩාර -




No comments:
Post a Comment