Saturday, March 5, 2016

7. අර මෝදු වෙලා සිනා පුරන සඳ මඬලින් අහන්න



ශෝකයත් රසයක් ද?”


ජන ජීවිතයේ දුක ගැන කව් ගී ලියන්න අපි හුරුවෙලා තියෙන්නේ මිනිස්සු නිකන්ම දුක  කිවුවට කවුරුත් අහන්නේ නැති නිසා වෙන්න ඇති. 
ඉතින් ඔය විවිධ දුක් කඳුළු අතරේ වැඩිපුරම කවු ගී ලියැවුණේ වියෝ දුක ගැනයි. ඒ නිසාම එවැනි ගීතයක් අසන්න වෙලාව ඇවිත් කියලා මට හිතෙනවා.
මේ ගීතයට පෙර වදනක් සපයන්න මම උත්සාහ කරන්නේ නෑ. මම ගීතයෙන් හිතපු දේ තවෙකෙකුට ඒ අයුරින්ම දැණුනාම තමයි මගේ සතුට වැඩිවෙන්නේ. නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන රසිකයින් හෝ විචාරකයින් කථා කළයුත්තේ එනිසයි. ඉතින් මගේ ගීතයක් ගැන මා මිතුරු 


ගීත රචක ධම්මික බණ්ඩාර
යන් විසින් සිළුමිණ පුවත් පතට සපයන ලද ලිපියක දක්වන ලද අදහස් ටිකක් ඒ විදිහටම මෙහි අමුණනවා. ගීතය මෙහෙමයි.

අර මෝදු වෙලා සිනා පුරන

සඳ මඬලින් අහන්න

ඇයි දුක් නොවන්නෙ කියා

හිරු කුමරුන් බැස ගියාම



අතු අගට වෙලා හිනා පුරන

මල් යායෙන් අහන්න

ඇයි දුක් නොවන්නෙ කියා

පිපි කුසුමන් පර වුණාම



හඬනවද සඳත් තනියම

තැවෙනවද මලුත් රහසෙම

ඔබ දන්නවා ද

ඇයි මට විතරක් මේ..

ඔබ හැරගියාම



සිහිනයක පිපී සුන්දර

රැදේවි ද සොඳුරු යාමෙක

මගෙ හද යහනත...

ඇයි මට විතරක් මේ..

ඔබ හැරගියාම
පද - යසනාත් ධම්මික බණ්ඩාර

 තනු - නවරත්න ගමගේ


හඬ - කරුණාරත්න දිවුල්ගනේ


ඉතින් මේ යසනාත් ධම්මික බණ්ඩාර ගැන ඒ ධම්මික බණ්ඩාර ලියන්නේ මෙලෙසයි.
ඔහුගේ නම යසනාත් ධම්මික බණ්ඩාර ය. ඔහුගේ පදිංචිය කුරුණෑගල පොතුහැර ය. ඔහු ඉඳ හිට ගීතයක් ලියයි. අපි අසල්වැසියෝ ය. මිත්‍රයෝ ය.

එහෙත් මේ සටහන මිත්‍රකම වෙනුවෙන් ලියා තබන්නක් නොවේ. මීට වසර හත අටකට පෙර හදවත් සසල කළ අද නිතර නෑසෙන, යසනාත් ගේ ගී පදමාලාවකින් මත් වී තබන්නාවූ සටහනක් ලෙස මම මෙය හඳුන්වමි. ඔහු විසින් රචනා කරන ලද, ‘නොනිදා ඉන්න එපා දේවී” (ජානක වික්‍රමසිංහ) , “ගාන තෙල් සඳුන් වරළස” (සමන් ජයනාත්) වැනි ගීත තරම් මෙය ජනපි‍්‍රය වූ බවක් මට මතක නැත. ඒත් මේ ගීයේ කුමක් දෝ ගුප්ත රසයක් රැඳී ඇති බවක් මට හැඟේ.


මහාචාර්ය ගම්ලත් වියතාණෝ 
ශෝකයත් රසයක් ද?” යනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළෝ ය. වාස්තවික ලෝකයේ දී ශෝකය රසයක් ගෙන නොදේ. එහෙත් කලාකරුවාගේ කල්පනා ලෝකයේ දී ශෝකය රසයක් බවට පත්වේ. ප්‍රේමවන්තයන් ගේ විප්‍රයෝගය වූ කලී වාස්තවික ලෝකයේ දී හද කකියවන්නකි. එහෙත් සාහිත්‍ය ලෝකයේ දී ඒ ශෝකය රසයක් බවට පරිවර්තනය වේ. මෙය ද එබඳු වූ අවස්ථාවකි.

ඉර බැසයන විට සඳ නැඟ එයි. ඉරේ එළියෙන් සඳ බැබළෙයි. එහෙත් හිරු බැසයාම පිළිබඳ ව සඳවතිය දුක් නොවෙයි.

එක ම මල්යායක පිපී වැනෙන මල් පරවී යයි. එහෙත් මල් යාය දුක්වන බවක් නොපෙනේ. එසේ දුක් නොවන හේතුව අසා බලන ලෙසට රචකයා ආයාචනය කරයි.

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම

ස්වභාව ධර්මය පුරාම මෙබඳු වෙන්වීම් රැඳී පවතී. එහෙත් මේ කිසිතැනක ශෝකය නොමැති බව රචකයා වටහා ගනී.

හිරු කුමරුන් සමුගැනීම ගැන සඳ තනියම හෝ හඬා වැටෙන බවක් නොපෙනේ. තමා ළඟ සිටි මල් පරවීයාම පිළිබඳ කිසිදු මලක් තනිවී හෝ හඬන බවක් ද නොපෙනේ. එහෙත් තනි වී හඬන කෙනෙකු සිටී. ඔහු කවුද?

හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

දැන් අප ඉදිරියේ සිටින්නේ ප්‍රේමයෙන් පරාජිත වූවෙකි. කවුරුන් හඬා නොවැටුණත් ඔහු ඇය වෙනුවෙන් හඬා වැටේ. ඔහු තුළ එක් පැනයක් ඉතිරිව ඇත. සඳට මල් වලට නැති වියෝ දුකක් ඔහුට විතරක් කොයින් ද?

"ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියාම

මේ නිර්මාණය කූටාප්‍රාප්තියට පත්කරන ප්‍රබලතම යෙදුම මෙයයි. ආලයේ විරහව භුක්ති විඳින්නට සිදුවන්නේ තනියම ය. එය ඇට මිදුළු සිසාරා ගලායන නොනිමි වේදනාවකි. මට මහගම සේකරයන්ගේ කවි පදයක් සිහිවේ.

ඔබ හිනැහෙනවිට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ හඬනා විට
මුළු ලොව
ඔබ අත හැර සිනාසෙයි
 මහගම සේකර

දැන් ඔහුට ඇය ව දැකගන්නට හැකිවන්නේ සීනයකින් පමණි. ඒ සිහිනය පවා ඔහුට සුන්දර ය. ඒ සිහිනයට ඔහු ගේ හද යහනේ කුමන වේලාවක හෝ සැතපිය හැකි ය. ඔහු බලා සිටින්නේඒ සිහිනය හද යහනේ සැතපෙන තුරු ය.

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...

රචකයා භාවිතා කරන ඇයි මට විතරක් මේයෙදුම තුළ පාළු අනාථ ශෝකී භාවයක් අන්තර්ගත ය. මුළු ගීතය පුරාවට ම ඒ පාළු ශෝකී භාවය රැඳී පවතී.

 (උපුටා ගැනීම - සිළුමිණ පුන්කලස - ධම්මික බණ්ඩාර)
අර මෝදුවෙලා සිනා පුරණ ගීතය අසමු.


ඉතින් යසනාත් ධම්මික බණ්ඩාර වන මවිසින් ලියූ ගීතය ගැන සහෝදර ගීත රචක ධම්මික බණ්ඩාර විසින් ලයූ ඒ සටහනට ස්තුතිවන්ත වෙමි. 



 -  යසනාත් ධම්මික බණ්ඩාර  -

No comments:

Post a Comment