Monday, March 28, 2016

8. හා හා කුමුදිනි...





හා හා කුමුදිනි...


රෝහණ ධර්මකීර්ති පිලිබඳ පළමු මතකය ගොඩක් ඈතට දිව යයි. ඒ කපුගේ අයියාගේ කම්පන ප්‍රසංගයේ වයලීන වාදකයෙක් ලෙස කුරුණෑගල පුරහලට ආ අවස්ථාවකය. එවිට අපි උසස් පෙළ සිසුන් වීමු. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සිසුවෙකු වීය.



විශාරද ගුණදාස කපුගේ ඉදිරියට පළමු වතාවට මාව රැගෙන ගියේ ඔහු විසිනි. රසිකයෙකු වශයෙන් පළමු වතාවට විශාරද ගුණදාස කපුගේ හා කතා බස් කිරීමේ අවස්ථාව මා ලද්දේ එලෙසය.

එදිනෙන් අනතුරුව ඒ දෙනොම මට හමුවෙන්නේ මම යමක් ලියන්න ගැනීමෙන් අනතුරුවය. දෙදෙනාගෙන් පළමුව හමු වූ රෝහණ ධර්මකීර්ති අනතුරුව මට යළි මුණ ගැසෙන්නේ කපුගේ අයියා යළි හමුවීමෙන් සෑහෙන කලකට පසුවය. එවිට මටත් ගීත රචකයෙකිය යන ලේබලය ඇලවී තිබුණි.

මගේ ගීත ඇතුළත් සී. ඩී. තැටිය දොරට වැඩි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයට රැස් ව එහි අප සමග ඉතිරි වූවන්ගෙන් කොටසක් අපේ නුගේගොඩ පූර්වාරාම පාරේ පිහිටි බෝඩිමට ද රැස් වුණි. ඒ පිරිස අතරේ සමහර ප්‍රවීනයන්ද සිටි අතර රෝහණ ධර්මකීර්ති ද එලෙස සිටි එක් ප්‍රවීනයෙක් විය. වසන්ත රෝහණ, නවරත්න ගමගේ, සමන් ජයනාත්, ජානක වික්‍රමසිංහ, ඩබ්. ඩී. ආරියසිංහ, කිත්සිරි ජයසේකර, දුකා, රොහාන් ශාන්ත බුලේගොඩ, වැනි අයද සිටියා මතකය. 

රෝහණ සිය ගිටාරය හඬවමින් ගයමින් පාන්දර වෙන තෙක් එහි සිටියේය. එවන් සෑම හමුවකදීම රෝහණ සමඟ අවසානයට යන අය අතරේ මමද සිටියෙමි. එදා අවසානට අප සමඟ ඔහුද අප බෝඩිමේ ඉතිරි වුණි.
මෙලෙස ගොඩනැගුණු සමීපත්වය අතර තුර ඔහු හා එක්ව ගීතයක් කරන්නට ලැබුණේද සුවිශේෂී හේතුවක් නිසාවෙනි. 


මා එකල සිටියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේය. සායනික පුහුණුව සඳහා මා කළුබෝවිල ශික්ෂණ රෝහලේ, කායික රෝග වාට්ටුවේ සිටි සමයේ එහි සිටි එක්තරා හෙදියකගේ නම වූයේ කුමුදු ය. ඇය මගේ යෙහෙළියකගේ නැගණයක් ද වුණි. එබැවින් ඈ ද මගේ යෙහෙළියක වූවාය.

කුමුදු ට එකල පෙම්වතෙකු සිටියේය. කුමුදුගේ කැමැත්ත ලබා ගැනීමේ අරමුණින් වෙහෙසෙන අප වසරේ වෛද්‍ය සිසුවෙකුද ඒ අතරට ආවේය. ඔහුට ද පෙම්වතියක් සිටි අතර ඈ සිටියේ පිට රටක ය.

කුමුදු මට මෙන් ම ඔහුට ද සමීපව සිටියාය. ඒ මා හා මෙන්ම සාමාන්‍ය මිතුරු දමක් වෙනුවෙන්ද නැති නම් යම් ලෙසකින් සිය පෙම ව්‍යාජව ප්‍රකාශ කරණ ඔහුට රැවටී ඇති නිසා දැයි මා හට ඇති වූයේ කුකුසකි.

ඔහුගේ මේ පෙම් ඇරියුම් වලට කුමුදු රැවටේවිද? නැති නම් ඇය ඔහු ගැන දැන නොදත්තා සේ වෙනසක් නොපෙන්වා ඇසුරු කරන්නේද? මේ මා මනසේ ඈ විෂයයෙහි ඇති වුණු ගැටළුය.

මා තරමක් ගී ලිවීමේ සමත් බව දත්තේ, පටිගත කෙරෙන සමහර ගීයක ඔවුන් පළමු රසාකාවියන් වූයේ ඈ මගෙන් කළ සොඳුරු ඉල්ලීමක් විය.

යසනාත් අයියා, මම ගැනත් සිංදුවක් ලියන්නකෝ.

ඔවු. මම දවසක ඔයා ගැන සිංදුවක් ලියනවා මයි. ඒ විතරක් නොවෙයි. ඒ ගීය පටිගත කරලා ඉක්මනින් ඔයාට අහන්න දෙනවා.

ඉතින් මා ඈ ගැන ගීතයක් ලිවිය යුතුය. දැන් මට පැවරී ඇත්තේ ඒ භාරදූර කාර්යය.

මා ඇගේ සුන්දරත්වය ගැන වනන්නද? නැති නම් මතුව ඇති නුදුරු අනතුර ගැන ලියන්නද?

කුමුදිනි, රුවට පිපී
නිල් විල් තලේ සඳ යහනතේ
සෙනෙහසේ, සුවඳ දැනී
බමරුන් ඇදේ සඳ සිහිනයේ
හා හා කුමුදිනි!

ගීතයට සුදුසුම පිවිසුමට එළඹුනා යැයි මට හැඟුනි. දැන් ඉතින් වැඩේ පහසුය. සුන්දර ඈ ගැන සේම සුන්දර ඈ නිවැරදිව වටහා නොගතහොත් එළඹිය හැකි අනතුර පිළිබඳ ඉඟියද එහි ගැබ්වීම මට මහත් සතුටකි. ඉතින් නම් ඉතිරිය සම්පූර්ණ කිරීමට ලොකු කලක් අවැසි නොවනු ඇත.

ඔය ඉලන්දාරි බමර කතා
රස රිසි ගී පද සේමැයි
සිත සිහින සදාලයි
මුව සිහින් සිනිඳු කෝල සිනා
ඇස ආල නුරාවයි
හරි සාර සුබාවයි
හා හා කුමුදුනි...


ඔය බාල බොලඳ චාටු කතා
හිරු දුටු පිනි බිඳු සේමැයි
නෙතු කඳුළු පුරාලයි
සඳ රැසේ පිපෙන බඹර සිනා
රස සිහිනෙක සේමැයි
එය සැබෑ නොවේමැයි
හා හා කුමුදිනි

ගීතය හුස්මට දෙකට ලියැවුනි. ලියැවුණු සැනින් ඒ ගැන කීවේ රෝහණ ට ය.
ආනන්ද ගුණසේකර ගයන මගේ 

රන් රුවැත්තී
මුදු සිතැත්තී
ලකල් සුනිමල්
සිත් සොරා ගත්තී
තී ප්‍රේමවන්තී 

වැනි ගීතයක් තමන්ට ලියා නොදුන්නැයි එකල රෝහණ මට මැසිවිලි නගමින් සිටියේය. එබැවින් මේ ගීතය දුටු විට ඔහු කැමැති වේ යැයි අදහසක් මා තුළ තිබුණි. 

මා මුලින් රෝහණට කියුවේ මේ ගීතය ගැන නොවේ. කුමුදු ගැන අර කතාවයි. අනතුරුව ය මම ඒ සිද්ධිය ගැන ගීතයක් ලිව්වා කියා කීවේ.

එහි වචන ඇසූ රෝහණට එම වචන මගේම අත් අකුරින් ලියා දෙන තෙක් සිටින්නට තරම් ඉවසිල්ලක් නොවුනේ ඔහු එය ලියා ගත්තේ දුරකතනය ඔස්සේ අසමිනි. අනතුරුව දින දෙකකින් පමණ තම නිවසට එන මෙන් ඇරියුමක් ලද්දේ අමුත්තන් පිරිසක් වෙනුවෙන් පුංචි සාදයක් පැවැත්වෙන බැවිනි.

රෝහණලාගේ ගෙදර පුංචි සාද සංග්‍රහ කෙලවර වන්නේ පාන්දර කුකුළා හැඬලීමෙනුත් අනතුරුවය. ඒත් ඒ දක්වා වන රසිමුසු තැන් කොතෙක්දැයි දන්නා මම නොවරදවාම එහි ගියෙමි. රෝහණ සිය ගැයුම් වැයුම් ඇරඹුවේ සුපුරුදු ගී රස වින්දනයද ඇතුළත් කරමිනි. ගීත ගණනක් ගැයූ ඔහු පසුව අළුත් ගීතයක් අසමු යැයි යෝජනා කළේය. මම පළමු වරට කුමුදිනි ගීතය ඇසුවේ එහිදීය. පළමු වරට එය ඇසූ එහි සිටි අය ඊට ප්‍රසාදජනක ප්‍රතිචාර දැක්වූහ.

තවත් සතියකින් දකෙකින් පසුව, එම ගීතය රෝහණ ගේ සංගීතයෙන් හැඩ වී පටිගතව රෝහණගේ හඬින් ගැයිනි.


මේ එම ගීතයයි.

මෙම ගීතය කුමුදිනි ට අසන්නට දුන්නේද දුරකථන මාර්ගයෙනි.
ඔව්. දැන් කුමුදු ට සහ කුමුදුගේ ඒ දිනවල තිබුණු ප්‍රේමයට අත් වූයේ කුමන ඉරණමක්දැයි ඔබට කුතුහලයක් ඇති වනු ඇත. ඊට කිසිදු හානියක් සිදු නොවුනේ, ඔවුන් එක කැදැල්ලක් යටට කූඩුව දරු මල්ලන් හදා වැඩූ බව පසුව දැන ගතිමි.

දැන් ඉතින් ඒ ගීතය අසමු.






-      යසනාත් ධම්මික බණ්ඩාර   -




Saturday, March 5, 2016

7. අර මෝදු වෙලා සිනා පුරන සඳ මඬලින් අහන්න



ශෝකයත් රසයක් ද?”


ජන ජීවිතයේ දුක ගැන කව් ගී ලියන්න අපි හුරුවෙලා තියෙන්නේ මිනිස්සු නිකන්ම දුක  කිවුවට කවුරුත් අහන්නේ නැති නිසා වෙන්න ඇති. 
ඉතින් ඔය විවිධ දුක් කඳුළු අතරේ වැඩිපුරම කවු ගී ලියැවුණේ වියෝ දුක ගැනයි. ඒ නිසාම එවැනි ගීතයක් අසන්න වෙලාව ඇවිත් කියලා මට හිතෙනවා.
මේ ගීතයට පෙර වදනක් සපයන්න මම උත්සාහ කරන්නේ නෑ. මම ගීතයෙන් හිතපු දේ තවෙකෙකුට ඒ අයුරින්ම දැණුනාම තමයි මගේ සතුට වැඩිවෙන්නේ. නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන රසිකයින් හෝ විචාරකයින් කථා කළයුත්තේ එනිසයි. ඉතින් මගේ ගීතයක් ගැන මා මිතුරු 


ගීත රචක ධම්මික බණ්ඩාර
යන් විසින් සිළුමිණ පුවත් පතට සපයන ලද ලිපියක දක්වන ලද අදහස් ටිකක් ඒ විදිහටම මෙහි අමුණනවා. ගීතය මෙහෙමයි.

අර මෝදු වෙලා සිනා පුරන

සඳ මඬලින් අහන්න

ඇයි දුක් නොවන්නෙ කියා

හිරු කුමරුන් බැස ගියාම



අතු අගට වෙලා හිනා පුරන

මල් යායෙන් අහන්න

ඇයි දුක් නොවන්නෙ කියා

පිපි කුසුමන් පර වුණාම



හඬනවද සඳත් තනියම

තැවෙනවද මලුත් රහසෙම

ඔබ දන්නවා ද

ඇයි මට විතරක් මේ..

ඔබ හැරගියාම



සිහිනයක පිපී සුන්දර

රැදේවි ද සොඳුරු යාමෙක

මගෙ හද යහනත...

ඇයි මට විතරක් මේ..

ඔබ හැරගියාම
පද - යසනාත් ධම්මික බණ්ඩාර

 තනු - නවරත්න ගමගේ


හඬ - කරුණාරත්න දිවුල්ගනේ


ඉතින් මේ යසනාත් ධම්මික බණ්ඩාර ගැන ඒ ධම්මික බණ්ඩාර ලියන්නේ මෙලෙසයි.
ඔහුගේ නම යසනාත් ධම්මික බණ්ඩාර ය. ඔහුගේ පදිංචිය කුරුණෑගල පොතුහැර ය. ඔහු ඉඳ හිට ගීතයක් ලියයි. අපි අසල්වැසියෝ ය. මිත්‍රයෝ ය.

එහෙත් මේ සටහන මිත්‍රකම වෙනුවෙන් ලියා තබන්නක් නොවේ. මීට වසර හත අටකට පෙර හදවත් සසල කළ අද නිතර නෑසෙන, යසනාත් ගේ ගී පදමාලාවකින් මත් වී තබන්නාවූ සටහනක් ලෙස මම මෙය හඳුන්වමි. ඔහු විසින් රචනා කරන ලද, ‘නොනිදා ඉන්න එපා දේවී” (ජානක වික්‍රමසිංහ) , “ගාන තෙල් සඳුන් වරළස” (සමන් ජයනාත්) වැනි ගීත තරම් මෙය ජනපි‍්‍රය වූ බවක් මට මතක නැත. ඒත් මේ ගීයේ කුමක් දෝ ගුප්ත රසයක් රැඳී ඇති බවක් මට හැඟේ.


මහාචාර්ය ගම්ලත් වියතාණෝ 
ශෝකයත් රසයක් ද?” යනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළෝ ය. වාස්තවික ලෝකයේ දී ශෝකය රසයක් ගෙන නොදේ. එහෙත් කලාකරුවාගේ කල්පනා ලෝකයේ දී ශෝකය රසයක් බවට පත්වේ. ප්‍රේමවන්තයන් ගේ විප්‍රයෝගය වූ කලී වාස්තවික ලෝකයේ දී හද කකියවන්නකි. එහෙත් සාහිත්‍ය ලෝකයේ දී ඒ ශෝකය රසයක් බවට පරිවර්තනය වේ. මෙය ද එබඳු වූ අවස්ථාවකි.

ඉර බැසයන විට සඳ නැඟ එයි. ඉරේ එළියෙන් සඳ බැබළෙයි. එහෙත් හිරු බැසයාම පිළිබඳ ව සඳවතිය දුක් නොවෙයි.

එක ම මල්යායක පිපී වැනෙන මල් පරවී යයි. එහෙත් මල් යාය දුක්වන බවක් නොපෙනේ. එසේ දුක් නොවන හේතුව අසා බලන ලෙසට රචකයා ආයාචනය කරයි.

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම

ස්වභාව ධර්මය පුරාම මෙබඳු වෙන්වීම් රැඳී පවතී. එහෙත් මේ කිසිතැනක ශෝකය නොමැති බව රචකයා වටහා ගනී.

හිරු කුමරුන් සමුගැනීම ගැන සඳ තනියම හෝ හඬා වැටෙන බවක් නොපෙනේ. තමා ළඟ සිටි මල් පරවීයාම පිළිබඳ කිසිදු මලක් තනිවී හෝ හඬන බවක් ද නොපෙනේ. එහෙත් තනි වී හඬන කෙනෙකු සිටී. ඔහු කවුද?

හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

දැන් අප ඉදිරියේ සිටින්නේ ප්‍රේමයෙන් පරාජිත වූවෙකි. කවුරුන් හඬා නොවැටුණත් ඔහු ඇය වෙනුවෙන් හඬා වැටේ. ඔහු තුළ එක් පැනයක් ඉතිරිව ඇත. සඳට මල් වලට නැති වියෝ දුකක් ඔහුට විතරක් කොයින් ද?

"ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියාම

මේ නිර්මාණය කූටාප්‍රාප්තියට පත්කරන ප්‍රබලතම යෙදුම මෙයයි. ආලයේ විරහව භුක්ති විඳින්නට සිදුවන්නේ තනියම ය. එය ඇට මිදුළු සිසාරා ගලායන නොනිමි වේදනාවකි. මට මහගම සේකරයන්ගේ කවි පදයක් සිහිවේ.

ඔබ හිනැහෙනවිට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ හඬනා විට
මුළු ලොව
ඔබ අත හැර සිනාසෙයි
 මහගම සේකර

දැන් ඔහුට ඇය ව දැකගන්නට හැකිවන්නේ සීනයකින් පමණි. ඒ සිහිනය පවා ඔහුට සුන්දර ය. ඒ සිහිනයට ඔහු ගේ හද යහනේ කුමන වේලාවක හෝ සැතපිය හැකි ය. ඔහු බලා සිටින්නේඒ සිහිනය හද යහනේ සැතපෙන තුරු ය.

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...

රචකයා භාවිතා කරන ඇයි මට විතරක් මේයෙදුම තුළ පාළු අනාථ ශෝකී භාවයක් අන්තර්ගත ය. මුළු ගීතය පුරාවට ම ඒ පාළු ශෝකී භාවය රැඳී පවතී.

 (උපුටා ගැනීම - සිළුමිණ පුන්කලස - ධම්මික බණ්ඩාර)
අර මෝදුවෙලා සිනා පුරණ ගීතය අසමු.


ඉතින් යසනාත් ධම්මික බණ්ඩාර වන මවිසින් ලියූ ගීතය ගැන සහෝදර ගීත රචක ධම්මික බණ්ඩාර විසින් ලයූ ඒ සටහනට ස්තුතිවන්ත වෙමි. 



 -  යසනාත් ධම්මික බණ්ඩාර  -