Saturday, May 7, 2016

10. නුඹේ නෙත් තරු.





ප්‍රේමයේ සොඳුරු අත්දැකීම් වලට වගේම යොවුන් වයසේදී ප්‍රේමයේ අඳුරු අත්දැකීම් වලටත් කෙනෙකුට මුහුණ දෙන්නට විය හැකියි. වියෝ දුක සාමාන්‍ය මිනිසෙකු තුළ ශෝකය වේදනාව සහ සමහරවිට වෛරය ක්‍රෝධය වැනි හැඟීම් ජනිත කළත්   එම හැඟීම් දමණය කරගත් ගීත රචකයින් ගේ කවියන් ගේ හිතේ ජනිත කරන්නේ ඉන් රසයක්. ඒක තමයි ශෝක රසය. නාට්‍ය කලාවේදී නව නළු රස ලෙසින් මෙවැනි ම විවිධ රසයන්ගැන විග්‍රහ කෙරෙනවා. නව නළු රස  අතරට ශෝක රසයත් එක්වෙනවා. 

කවියා ගීත රචකයා යම් ශෝකය දනවන අත්දැකීමක් හෝ අත්විඳීමක් සිය නිර්මාණ තුළට ගොනු කර ගනිමින් ඒ ඔස්සේ අන්‍යන්ටද එය දනවන්නට සමත් වෙනවා. එය හුදු ශෝකය ලෙස නොව ශෝක රසය ලෙසිනුයි ඔහු ගෙනහැර පාන්නේ. 

මගේ කවි ගීත බොහෝමයක පසු කලෙක රසයක් බවට පෙරළූ ළසෝ දුක ගැබ්වුණා. යොවුන් වියේ සමහර අත්දැකීම් ද අත්විඳීම් ද මේවාට හේතුවෙන්නට ඇති. ඒ ලෙස ම යොවුන් වියට පෙර සිට ම, සමීප කිසිදු අත්දැකීමක් නැතිවත් අසන්නට අතිශයින් ප්‍රිය කළ පිය විප්පයෝගය පිළිබඳව ලියැවුනු ගී දහස් ගණනක්ද එවැනි කව් ගී ලිවීමෙහි ලා මා පොළඹවන්නට ඇත.

දිනක් මම කවියක් ලියුවා මෙහෙම.

නුඹේ නෙත් තරු වගේ
නුඹේ වත මලක් වගේ
නුඹේ සිත හරි මෙලෙක්.....

මේ ඒ කවිය ම නොවේ. එහෙත් එදා මම ලියූ කවියේ අර්ථය එවැන්නක් වුණා. ඒ කවිය දැන් මට හරියට ම මතක නෑ. 

මෙවැනි කවි ලියා කාලයක් ගියාමනේ මෙවැනි  කවිවල ඇති මෙවන් වර්ණනා සැබෑ ස්වරූපයට නොගැලපෙන බව වැටහෙන්නේ. අනතුරුව මම ඒ ඇසුරින් ම ලියූ ගීතයේ මුළ් පද පෙළ විමසා ඒ ගැන කථාවට මුළ පුරමු.

නුඹේ නෙත් තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයි ද ගිනිගෙන දවන්නේ....

එදා ඒ කවියේ තිබුණේ ඇයගේ නෙත් තරු වගේ කියලා. නමුත් පසු කලෙක ඒ තරු නෙත් යොවුන් හදවතක් දවා හළුකර දැමුවේ නම්....? මම ම ලියපු කවිපද මගෙන් ම විමසනවා ඒ දෙනෙත් තරු නම් ඇයි මේ විදිහට දවා හළුකර කරන්නේ කියලා.

නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම අද
මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයි ද කටු ලෙස ඇනෙනනේ.....

එදා ඇගේ වත මඬල දුටුවේ මලක් වගේ. ඒ තරම් සුන්දර සියුමැලි මලක් ලෝකයේ වෙන කොහේවත් ඇතිද. තුරුණු සිත් සිතන්නේ එහෙම තමයි. තුරුණු පෙම්වතා තුරුණු කවියෙකු වුණොත් තත්වය තවත් උග්‍ර විය හැකියි. ඉතින් එහෙම මම ම ලියපු කවු ගී මගෙන් ම අහනවා මලක් නම් ඒ මුහුණ ඇයි මෙහෙම කටු වගේ ඇනෙන්නේ කියා.

නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....

එදා ඒ සිත තරම් මුදු මෙලෙක සිතක් අන් කොහේ නම් තිබුණේද? ඒ නිසාමයි නුඹේ සිත හරි මෙලෙක යැයි මගේ කවියට නැගෙන්නේ. වසර ගණනකට පසු එවැනි සිතක් නොතිබුණු බව ඔප්පු වුවහොත් අර විදිහට ලියූ කවි පද නොවමසාවිද  ඒ සිත ඒ තරම් මෙලෙක්  වුණානම් ඇයිද හිස වැදුණාම රිදෙන්නේ කියලා.

මේ ගීතය මම ලියා දුන්නේ ගායක 



ලක්ෂ්මන් විජේසේකර
යන් ගේ “රෑ තරුවී“ කියන ගීත සංග්‍රහය සඳහා. මෙහි තනුව සහ ගායනය ලක්ෂ්මන් විජේසෙකරගේ. සංගීතවත් කළේ 



ආචාර්ය රෝහණ වීරසිංහ
යන් විසින්.

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පදම අද මගෙන් විමසාවී
දෙනෙත් තරුනම්
ඇයිද ගිනිගෙන දවන්නෙ....

නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම
අද මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයිද කටු ලෙස ඇනෙනනේ..

නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව සහ ගායනය: ලක්ෂ්මන් විජේසෙකර.
සංගීතය: රෝහණ වීරසිංහ.

නුඹේ නෙත් තරු ගීතය අසමු.







-      යසනාත් ධම්මික බණ්ඩාර    -

Wednesday, April 6, 2016

9. සඳ කිඳුරු ලිය නුඹ





සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ



රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීතයක් තිබෙනවා මෙහෙම.

සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඞන
මමද ලිහිණියක වෙමි - කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු - ප්‍රේමයකි තරු එළිය

මේ ගීතය මගේ හදවතේ ඉතා තදින් ඇඳුණු ගීතයක්. දෙදෙනොම ඔවුනොවුන්ගේ අතීත ප්‍රේම කථාවලින් පරාජිතයින් ව ඇත. එවැනි පරාජිතයින් දෙදෙනෙකුගේ එක්වීම එක්වීමක් වී ඇතිද? ඇය රැයේ අඳුරට ගුළිව කඳුළු සයුරේ ගිලී සිටී. ඔහු ප්‍රේමයේ තටු බිඳී එම රිදුම් පිරිමදිමින් සිටී. මේ නම් කුමන පවක්ද?
අහිංසක මේ දෙදෙනාගේ තටු බිඳ දැමූයේ කොතනකදීද? ප්‍රේමය නමැති දිය සිඳී ගොස් වේලී ඉරිතැලූ ගංගාධාරයකදී ය. එම පාපය කළෝ කවුරුන්ද?
සත්‍ය ප්‍රේමය නමැති තාරකාව සඳක් සේ බබලන්නට පෙර මිය ගොස් ඇත. කාගේ හෝ වරදකින් එය සිදුව ඇත. ඉතින් මේ පිළිබඳව සඳට දොස් කියා පළක් ඇතිද?
මෙම ගීතය මසිත ඇතිකළ කම්පනය නිසාදෝ මා අතින් මෙවැනි ගීතයක් ලියැවින. කෙසේ වෙතත්ඉහත ගීතයට මෙහි සෘජු සම්බන්ධයක් නැත. එම ගීතය හා මේ ගීතය සම කරන්නට ගන්නා උත්සාහයක් ද නොවේ මේ. එලෙස කරන්නට හැකි වේ යැයිද නොදනිමි. මා කියන්න උත්සාහ කළේ මේ ගීය ලියන්නට මට බලපෑ කතාව සහ ගීතය ගැන අදහසකි. ඒත් ඡායාවක් සේ එම ගීතයේ බලපෑම මෙහි ඇතැයි මට හිතෙනවා.


අහිමි වූ - අහිමි වූ
පුන් සඳ වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ.......

මේ දෙදෙනාම හරිම සමානයි..... සඳ කිඳුරන් වන නිසා.... ඒ වගේම තවත් සමාන කම් තියෙනවා... ඔවුන් දෙදෙනාම මහමෙරක් බඳු දුක් කන්දරාවක් සිත්හි දරාගෙන සිටින නිසා. ඔවුන් දෙදෙනාටම තමන්ගේ ආදරය නමැති ආකාසයේ පායා තිබූ පුන් සඳමඩලවල් අහිමිවී ඇති නිසා...

මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිහිල අහිමිව
වැලපෙනා වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

ප්‍රථම ප්‍රේමය සුන්දර ගංගාවක් නම් ඒ ගඟ අකල්හි සිඳී ගියේ නම් සිසිල අහිමිව වැලපෙන ගංගාධාරයෙහි ඇති මල් උයන්වල මල්‍ මෙන්ම මේ කිඳුරු යුවලටද තම තමන්ගේ ප්‍රථම ප්‍රේමය නමැති සිසිල අහිමිව වැලපෙන්නට සිදුව ඇත.....

මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව
වැලපෙනා වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ.......

ප්‍රථම ප්‍රේමය නිල්වන් අහසක් නම් ඒ අහසට නිල්ල අහිමිවූයේ නම්, ප්‍රථම ප්‍රේමය සුනිල්වන් දිය දරණ විලක් නම් එවන් විලට එම නිල්ල අහමි වී නම්, ඒ අහස - ඒ විල් දිය වැලපෙනා සේ මේ කිඳුරු යුවලටද තම තමන්ගේ ප්‍රථම ප්‍රේමය නමැති නිල්ල අහිමිව වැලපෙන්නට සිදුව ඇත.....

ඔවුන් දෙදෙනා මේ එක්ව ගයන්නේ වෙන් වෙන්ව ඔවුනොවුන් අත්විඳි ප්‍රථම ප්‍රේම වියෝවේ ළසෝ ගීතයයද.....?
මේ ගීතය මගේ කිඳුරු ගීතය ගීත සංග්‍රහයේ එන, මගේ ගී අතුරින් මා බෙහෙවින් ප්‍රිය කරණ ගීතයකි. එවිට ඔබ සිතනු ඇත තමන්ගේ ගී අතරින් වඩා සිත් ගත් ගී කෙනෙකුට තිබෙනවාද කියා. ඔව්. එය එලෙසය. මම මගේ ගී අතුරින් අසන්නට වඩාත් ප්‍රියතම ගී එකතුවක් ඇත. ඒ එකතුවට අඩංගු ගීතයකි මෙය.
මේ ගීතයේ සොඳුරු සුමට තනුවට මම බෙහෙවින් ප්‍රිය කරමි. එහි සංගීත පසුතලයේ යෙදී ඇති මියුරු සංගීත ඛණ්ඩ වලට ද මම ප්‍රිය කරමි. ඒ ගීතය වැයෙන රිද්මයටද මම බෙහෙවින් ප්‍රිය කරමි. ඒ මා ප්‍රිය සියළු දේ කැටිකොට සංගීතය නිමැවූයේ මිතුරු 

නවරත්න ගමගේ  
ය. 
මේ ගීතය හා සම්බන්ධ තවත් යම් යම් කරුණු එහි ප්‍රියතාවයට හේතු වෙයි. මේ ගීතය මගේ සංයුක්ත තැටියට එකතු වන්නේ අවසාන හරියේදීය. ගීත දොළහ දාහතර වෙමින්, දා හතර දහසය වෙමින් එක එක ඊට එකතු වෙද්දීය. මේ ගීතය සාදන්නේ 

 කිත්සිරි ජයසේකර 
ට ය. කිත්සිරි එකල සේවය කළේ කොහුවල පයනියර් ශබ්දාගාරයෙහි ය. පයනියර් ශබ්දාගාරයෙහි නාද ශික්ෂණය කළේ ශබ්ද ඉංජිනේරු  


ඔසී නුගේරා  
ය. ගියේ වැඩකට ගනුදෙනුවකට වුව, ඉන් සීමා නොවී ඔවුන් අප මිතුරන් වූයේ පළමු දිනයේදීම ය. අනතුරුව අපගේ ගී පටිගත කිරීම් නොමැතිව වුව අන් පටිගත කිරීම් වලදීද අප එහි ගැවසෙන්නට වූයේ එහි සාමාජිකයින් විලසිනි.
ගීත වලට හඬ කවන බොහෝ අවස්ථා වල ගායක අපහසුවෙන් ගයන සමහර ගී කිත්සිරි පිටත සිට පහසුවෙන් ගයනු අප දුටු වෙසෙස් කරුණකි. ඒ වන විට කිත්සිරි ද සිය ගී ඇතුළත් සංයුක්ත තැටියක් ගිනි මලක් නිපදවීමේ උත්සාහයක සිටියේය. මගේ ගීයක් ඔහු එයට ඇතුළත් කරන්නට ඔහු නොසිතීම අමතක කොට කිත්සිරි ගේ ගීයක් මගේ ගීත එකතුවට ඇතුළත් කළ යුතුය යන අදහස මා තුළ මතු විය. ඒ අනුවය මේ ගීය නිර්මාණය කර පටිගත කරණු ලැබුයේ.
යුග ගීයක් වූ බැවින්, කාන්තා හඬ සඳහා අප යොදා ගන්නට සිතුවේ, වැඩි පුර ගී නොගයන, එහෙත් හොඳින් ගී ගයන, හේමන්ති රණසිංහ ය. මේ ගීතයේ ගායක ගායිකා දෙපල තෝරා ගනු ලබන්නේ එලෙසිනි.
තවත් වෙසෙස් කරුණක් මතක් කරන්නට සිත් වන්නේ කිත්සිරි නිසාය. අවසානයේ මගේ  


කිඳුරු ගීතය  
කිත්සිරි ගේ  



ගිනි මලක්  
ද දොරට වඩිනුයේ එකද දිනක එකම උත්සවයකදීය. ඒ 1999 දිනක කොළඹ පදනම් ආයතනයේදී ය.

සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ - අහිමි වූ
පුන් සඳ වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ.......

මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිහිල අහිමිව
වැලපෙනා වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව
වැලපෙනා වැලපෙනා

සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ.......
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - කිත්සිරි ජයසේකර/ හේමන්ති රණසිංහ

ගීතය අසමු.






- යසනාත් ධම්මික බණ්ඩාර -