Monday, October 15, 2018

කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී




ඉස්සර අපේ ගම්වල අම්මලා තමන්ගේ කුසට අහරක් ගත්තේ ගෙදර සියළු දෙනාටම ආහාර බෙදා අහවර කිරීමෙන් පසුවයි.
සමහර විට දංකුඩ මුසු බත් වෑංජන අප්පල්ල වල අඩිය පිස ගැනීමෙන් ලැබෙන බත් මිශ්‍රණයයි ඔවුන් අනුභව කරණු ලැබුවේ.
මේ තත්ත්වය පුරුෂ මූලික සමාජයේ පුරුෂාධිපත්‍යයේ හේතුවෙන් සිදුවන අකටයුත්තක් සේ ය පසුකාලීනව සමහර අයවලුන් දුටුවේ.
එහෙත්, ගමේ ගොඩේ තොරතුරු නිසි ලෙස දන්නා අය නම්, එය පුරුෂයින්ගේ බලපෑම නිසාවෙන් වූ දෙයක් නොවන වග දනී.
එකල ගෙදරට බත සරි කළේ ගෙදර පිරිමියායි. ඒ නිසා ගෙදරට බත සරිකරණ පුද්ගලයාට පළමුව කන්නට දිය යුතු යැයි ඔවුන් සිතුවේ කාගේ වත් බලපෑම නිසා නොවේ.
ඊ ළඟට මේ අම්මලා තමන්ට පෙර දරුවන් ගැන සිතූහ. අර තමන්ට පෙර සැමියාට බත දුන්නේ බලපෑමෙන්ය සිතන අය තමන්ට පෙර දරුවන්ට දුන්නේද බලපෑවේය ලෙසින් නොසිතීම ඒ අනුව වටහා ගත නොහැකිය.
කෙසේ වෙතත්, මේ ඒ ගැන වාද විවාද කිරීමට වේලාව නොවේ. එය අන් වේලාවකදී කරමු. දැන් අපි ගීතයක් ගැන අදහස් ටිකක් හුවමාරු කරගනිමු.
ගීතයක් කිව්වාට මෙතැන ගීතය නැත. මෙතැන ඇත්තේ වචන ටික පමණි. ගීතය ඇත්තේ එය ගැයූ  


වෛද්‍ය ආනන්ද ගුණසේකර  
මහතා ළඟය. එබැවින් එය මෙහි අමුණන ලෙසට අපි ඔහුට ඇරියුම් කරමු.

නුඹ මාල ගිරවි රන් ගෙළ වට මාල අහිමි වූ
දහදිය මුතු මාල සතයි ගෙළ දිදුලන්නේ
රන් මාලය භයානකයි හොරු ගෙනියන්නේ

මේ ගීතය ලියන්නට පෙළඹුනේ ඉහත මා යම් මට්ටමකින් සාකච්ඡා කරන්නට යෙදුනු පැරණී ගම්වල අම්මලාගේ පිලිවෙත ගැන සිත් හි තබා ගනිමිනි. එවන් අම්මා කෙනෙක් මට පෙනුනේ එක්තරා දුරකට කූඩුවක සිටින ගිරවියක් ලෙසටය.
මේ ගිරවියගේ ගෙළෙහි මාල නැත. මාල නැත්තේ අන් කරුණක් නිසාවෙනි. එහතේ ඒ අන් කරුණ නොකියා ඊට අපි හේතු කියන්නේ රන් මාල පැළඳීම අනතුරුදායක විය හැකිය කියායි.
ඇය වෙසෙන නිවස අපි කූඩුවක් යැයි සිතමු. එහෙත් භෞතිකව මේ කූඩුවේ දොරටු වසා නැත. දොරටු වසා නැති කූඩුවේ ඇය කූඩුවෙන් ඉවතට නොයා යම් යම් දුෂ්කරතා අත් විඳී. ඒ බලපෑමක් නිසා නම් නොවේ. එළඹෙන නිසා මුහුණ දිය යුතු බැවිනි. එහෙත්, ඇය ස්වේච්ඡාවෙන් එදුක් කඳින් වැඩි කොටස තමනට බෙදා ගනී.

නුඹ පුංචි මාල ගිරවී - කූඩුවේ සිටින තනිවී
බත් නොකෑවත් ඇසූ විට බත් කෑව කියන ගිරවී
හිමි සඳට නොනිමි පෙමිනී දරු ගැබ් රකිනා ගිරවී
ගැබ්බරේ සිටින දාටත්
යහ බොජුන් වරණ සොඳුරී

ඇය කරණ කැපවීම් බොහෝය. ඒ යව්වනය ගෙවන සිය ජීවිත වල ප්‍රාර්ථනා වෘක්ෂයන්ගේ මල් පුබුදිනු දකිනු රිසිනි. ඔවුන්ගේ පැතුම් තරගේ මල් යනු, දුවා දරුවන්ය. සිඟිති දොතොලග සිනහ වෙනුවෙන්, ඇය කැමැත්තෙන්ම දුක් ඉවසන්නීය.

යව්වනේ පැතුම් තුරෙහී මල් සිනා දකිනු රිසිනී
දුක් දැරූවත් හඬා සිත
මුව නිසා පුරණ සොඳුරී
නිදහසේ ගීත අසිරී දැන දැනම සිටින සිරවී
කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී

මෙම ගීතය මතක හැටියට සංගීතවත් කළේ එකල සිහ ශක්ති කණ්ඩායමේ නායක  


සංගීතඥ ආනන්ද පෙරේරා  
විසිනි.

නුඹ මාල ගිරවි රන් ගෙළ වට මාල අහිමි වූ
දහදිය මුතු මාල සතයි ගෙළ දිදුලන්නේ
රන් මාලය භයානකයි හොරු ගෙනියන්නේ

නුඹ පුංචි මාල ගිරවී - කූඩුවේ සිටින තනිවී
බත් නොකෑවත් ඇසූ විට බත් කෑව කියන ගිරවී
හිමි සඳට නොනිමි පෙමිනී දරු ගැබ් රකිනා ගිරවී
ගැබ්බරේ සිටින දාටත්
යහ බොජුන් වරණ සොඳුරී

යව්වනේ පැතුම් තුරෙහී මල් සිනා දකිනු රිසිනී
දුක් දැරූවත් හඬා සිත
මුව නිසා පුරණ සොඳුරී
නිදහසේ ගීත අසිරී දැන දැනම සිටින සිරවී
කූඩුවේ දොරටු හැරියත් හැර දමා නොයන ගිරවී.

ඉස්සර අපේ ගම්වල අම්මලා කියලා කතාව ඇරඹුවාට,
අදටත්,
අපේ ගෙදරත්,
අපේ බිරිඳත්,
මේ විදිහ තමයි.
ඔබේ ගෙදරත්  ඒ විදිහම වෙන්න ඇති.
අපි මුළින්ම අපට දියව් කී නිසා නොවේ. ඔවුන් සැනසෙන එක් විදිහක් එයත්.



-      යසනාත් ධම්මික බණ්ඩාර    -