ගීත රචනයක්
කරන්නේ නම් එයට නිසි වටිණාකමක් ලැබෙණුයේ එය සංගීතවත් කොට ගයනු ලැබීමෙන් පසුවය.
ගායනා වූ පසුවය, ගීත රචනය
ගීතයක් වනුයේ.
ගීත රචනා
ක්ෂේත්‍රයට මුළින්ම පිවිසි යුගයේ මගේම ගීත රචනාවක් සංගීතවත් කොට මගේම යැයි හැඟෙන ගීතයක්
පළමු වතාවට නිර්මාණය වූයේ ආචාර්ය වික්ටර් රත්නායකයාණන්ගේ සංගීතයට අනුවය. වික්ටර් රත්නායකයාණන් වැනි දැවැන්තයෙක් මගේ පළමු
ගීතයට දායක වීම මා ලැබූ වෙසෙස් භාග්‍යයක් විය. එහෙත් ඒ භාග්‍යය තුළම අභාග්‍යයක්ද
ගැබ්ව තිබුණි.
එම ගීතය
මුළින්ම සංගීතවත් කළේ වික්ටර් රත්නායකයාණන්ට ගැයීමට
නොවේ. අන් නවක ගායකයෙකු වෙනුවෙනි. එහෙත් එ් වික්ටර්
රත්නායකයාණන් ද ගීත එකතුවකට ලක ලැහැස්ති වෙමින් සිටි යුගයක් විය. මෙම ගීතය
සංගීතවත් කිරීමෙන් අනතුරුව වික්ටර් රත්නායකයාණන් විසින්
එම ගීතය තමන්ට ගැයිම සඳහා පෙර කී නවක ගායකයාගෙන් ඉල්ලා සිටියේය. ඒ ස්වකීය ගීත
එකතුවටයි. නමුත් එම නවක ගායකයා විසින් එම අවස්ථාවේ එය ඔහුට පරිත්‍යාග කිරීමට තරම්
පරිත්‍යාගශීලී නොවුනි. එම නිසා මා විසින් ලියා පටිගතවන පළමු ගීතය වික්ටර් රත්නායකයාණන් හඬින් ගැයෙන ගීතයක් වීමේ භාග්‍යය
මට අහිමි විය. එම ගීතය එදා ගායනා කළේ නිහාල් මුතුමුණි
නම් ගායකයෙකු විසිනි. එම ගැයුම ගැන මා සිත පූර්ණ පැහැදීමක් නොවුනේ එම
ගැයුමෙහි යම් යම් ආධුනික ලකුණු ගැබ් වූ බැවිනි. එහෙත් ගීතයට යොදා තිබූ වික්ටර් රත්නායකයාණන්ගේ සංගීත රටාවන් මා හට ඔහුගේ
මුල් ගී ආර සිහිපත් කරණ බැවින්ද පටිගතවූ මගේ පළමු ගීතය වූ බැවින්ද මේ ගීතයට මා තුළ
විශේෂ ඇල්මක් තිබිණ.
තාම
කිරි සුවඳනොවැරූ
බාල
නැගණියන් සරණා
නුහුරු
මං පෙතේ
ආල
වඩන ආල කුරුල්ලෝ
නෙතගින්
බැලුම් හෙලාවී
හීන
අඩවියේ රසබර කතා කියාවී
කටේ කිරි
සුවඳවත් නොවැරූ දැරියක වුව සමාජයට පිවිසිවිට ඔවුනට ඇති අනාරක්ෂිත භාවය මෙම ගීතයට නිමිත්ත
විය. ඉස්සර සමාජයේ දරුවන්ට මනා සමාජ ආරක්ෂාවක් ලැබින. ඔවුන්ව ඩැහැ ගැනීමට බලා
සිටින බලවේගවලට වඩා ඔවුනගේ ආත්මය සුරැකීමට සැදී පැහැදී සිටින බලවේග බලවත් විය.
එහෙත් කෙමෙන් කෙමෙන් මේ තත්වය වෙනස් වී අද වන විට ගැහැණු දරුවෙකුට තබා පිරිමි
දරුවෙකුටවත් එම සමාජ ආරක්ෂණය නොලැබෙන තත්වයක් උද්ගතව වී ඇත. ප්‍රධාන වශයෙන් නව
යොවුන් වියට එළඹෙන විටම ගැහැණු දරුවකුට නම් ලිංගික අපයෝජනයේ හස්තයද පිරිමි
දරුවෙකුට නම් මත් ද්‍රව්‍ය සහ වෙනත් එවැනි විෂමාචාරවල හස්තයද දිගුවනු දැකිය හැකි
වෙයි. එය එසේ වුව, පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක් වීමද දුලබ සිදුවීම් නොවේ.
මා ගීතයට මුළ
පිරුවේ ගැහැණු දරුවකු කෙරෙහි දිගුවන එම අනඟ හස්තයන් පිළිබඳවය. ඛේදජනක තත්වය නම්
මෙම බලපෑමෙන් මිදෙනවාට වඩා දිනෙන් දින ඊට ගොදුරුවීම් වැඩිපුර දකින්නට ලැබීමය.
මකා
හෝඩියේ මුළකුරු - මිහිර සොයා ආදරයේ
ගියා
ඉගිල්ලී නිම් නැති - පාළු වීදියේ
බාල
නැගණියන් රැවටී - ළදරු වසන්තේ
හෝඩියේ මුළකුර
“අ” යන්නයි. “අ” යන්න
නම් අම්මා වෙයි. හෝඩියේ මුළකුර මකා දමනු ලැබුවා යැයි කිවුවේ මවගේ ඔවදන් නොතකා ඇය
ඊනියා ආදරයේ නිමාවක් නොවන සිහින ලොවට පියමණින්නට මුළ පිරූ බැවිනි. ආදරය නරකක් යැයි
කිවහැක්කේ කාටද? එහෙත් ආදරයේ
වෙසින් එන රාග රකුසන් හැඳිනීමට තරම් ඇය තවමත් මෝරා නැත. ඇගේ වසන්තය ළදරු වසන්තයකි.
එනම් එම වසන්තය ඇය වෙත හදිසියේ උවමණාවටත් කළින් පැමිණ ඇත. ආදරයේ වසන්තය පමා වී
පැමිණීම සේම කළින් පැමිණීමද ඛේදවාචකයක් විය හැක. මේ ගීතය ගැන කතා කරන්නට යෙදුනද මට
කතා කිරීමට අවශ්‍යව තිබුණේ වෙනත් ගීතයක් වන බැවින් මේ කතාව මෙතනින් නවතමි. එහෙත්
එදා වික්ටර් රත්නායකයාණන්ගේ හඬින් නොගැයුණු
ගීය වික්ටර් රත්නායකයාණන්ගේ හඬ සිත්හි දරාගෙන
මේ අවස්ථාවේ අසන මෙන් ඇරියුම් කරමි.
"තාම
කිරි සුවඳ නොවැරූ" ගීතය මෙතනින් අසන්න.
එදා මගේ මුල්ම
ගීතය වික්ටර් රත්නායකයාණන්ගේ හඞින් ගැයෙන්නට
තිබුණු වාසනාව අහිමි වූයේ වුව ඉතා කෙටි කලකින්ම එම වාසනාව යළි මවෙත හිමි විය. ඒ
වෙනත් ගීතයක් ඔහුගේ හඬින් ගායනා කරවා ගැනීමට මට මගපෑදීමෙනි. මෙයින් කියවෙන්නේ “සිරගත
කළ පෙම්යුවලක්”
ගැනයි. නවරත්න ගමගේ ගේ
සංගීතයට ගයන්නේ
ආචාර්ය වික්ටර් රත්නායකයාණන්
සමග
විශාරද
නිර්මලා රණතුංග
යි.
ජීවිතයේ පළමු
වරට මා ඉසුරුමුණි පෙම් යුවල දුටුවේ රන්මසු උයනට
නොදුරු තැනක නිසල තුරුලිය හෙවනේ සිටිද්දී ය.
දෙවෙනි වතාවට
දකිද්දී ඔවුන් සිටියේ ඉසුරුමුණි විහාරය අසල
පොකුණට සමීපව ඉර, හඳ, තරු පහස යට ය.
මේ
ඉසුරුමුණි පෙම් යුවල දැන් සිටින්නේ ඉසුරුමුණි
වෙහෙර අසලම කෞතුකාගාර ගොඩනැගිල්ලකය.
ඔවුන් දෙසම
බලාගෙන එහේ මෙහේ යන දෙනෝ දාහක් දනන් අතරේය.
විදුලි එළි
දහරා මැද්දේය.
සිර මැදිරියක්
වන් කෞතුකාගාර ගොඩනැගිල්ලක,
විදුලි එළි මැද, දෙනෝදාහක් සෙනග අතරේ සිටින පෙම් යුවලකට මොන
ආදර රැඟුම්ද? පෙම්වතිය
ඉන්නේ හිත නොහොඳිනි..... මා ගීතය ලිව්වේ මේ දෙන්නා අතර මේ සිද්ධිය ගැන ඇතිවන දෙබසක
ආකාරයටය.
මුළින්ම එය
ලියැවුණේ කවක් ලෙසය. මගේ “පතන්බිම” කාව්‍ය සංග්‍රහයට ඇතුළත් වුණු ඒ මුල් කව
මෙලෙසයි.
පෙම්බරාණනේ
කොයි වෙද
එදා
අප වින්ද සිසිලස
දුටුවෙ
නෑ වසර ගණනක්
උදා
හිරු පිපෙනු අහසින......
එපා
පෙළන්නට මා හද
මා
ප්‍රියේ කිසිත් නොදනිම්
උයන්
තුරු පහස උදුරා
මේ
සිපිරි ගෙයට ලූ පව....
පෙම්බරාණනේ
කෙදිනද
විඳින්නේ
වනේ අසිරිය
පුර
දනෝ සරණ මේ ඉම
පෙම්
දෙලෙන් සිටිනු කෙලෙසින......
මම්
කෙසේ කියන් පිලිතුරු
ප්‍රියේ
අසරණයි මා අද
අනේ
මහතුනේ කවදා
අපේ
පෙම මුදා හරිණුද......
[පතන්බිම ( කවි ) - යසනාත් ධම්මික බණ්ඩාර - සිපිරිගෙයි
සිර කළ ආදරයක් - පිටුව 50 ]
මෙම කවිය ගීතවත්
කොට ගැයීම සඳහා මුළින්ම තෝරා ගත්තේ මා
මිතුරු ගායක නිමල් පද්මකුමාර විසිනි.
ඔහුගේ නිර්මාණ එකතුව නිකුත් වන දවසේ මම කොළඹ මහවැලි
කේන්ද්‍රයට මහත් ප්‍රමෝදයෙන් පිය නැගුවෙමි. එය මට මගේම උත්සවයක් විය. මක්
නිසාදයත් මගේ පළමු ගීතය අසන්නට මට අවස්ථාව උදාවන දවස එළඹී ඇති බැවිනි. ගීත රචනා ගොන්නක් ගීත බවට පත් නොවී ෆයිල් කවර අස්සේ සුසුම්
ලන විටෙක පළමු ගීතය ඇසිම ගීත රචකයෙකුට කොතරම් සතුටක්ද යන්න දන්නේ ගීත රචකයෙකුම
පමණි.
උත්සවයේදී ගීත
රැසක් ගැයිනි. මගේ ගීතය එහි නොවුනි.
අනතුරුව මා
මිතුරු වසන්ත දුක්ගන්නාරාල ගේ යෙහෙළියක වූ සඳමාලි දිසානායකගේ කටහඬ
ලැබීම ගී ප්‍රසංගය සඳහා මෙම ගීතයද මගේ තවත් ගීත 2 ක්ද යෝජනා
විය. එදා නවාගේ සංගීතයට මුළින්ම එම ගීතය ගායනා
කළේ සඳා සමග නලින්
ජිතේන්ද්‍ර අල්විස්ය. මෙම කව ගීතයක් කොට ගැයිය යුතුබවද කියැවුණි. එබැවින්
එම කව නැවත ගීතයකට සැකසීම ම විසින් ඇරඹිනි. එය දුෂ්කර කටයුත්තක් විනි. මෙය කවක්
ගීතයක් කළා යැයි කවියන්ට ගීත රචකයින්ට බණිනවා තරම් පහසු කටයුත්තක් නොවින. කවියේ
ආකෘතියෙහි සරළ වෙනස්කම් සහිතව එය ගීතයක්
කිරීමට
මම
වත්
සංගීතය සැපයූ
නවා ( නවරත්න ගමගේ )
වත් අකමැතිවූ බැවිනි. අපට අවැසි වූයේ
කවියම ගීතයක් කළාය යන චෝදනාවට පිළිතුරු දියහැකි වෙනම ගීත රචනයකින් ගීතයක්
නිමවීමටය. එබැවින් මහත් වූ ව්‍යායාමයකට පසු එහි ගීත රචනය නිමැවිණි. එය ගීතය එය
බිඳගත් එහි මුල් කවි ආකෘතියට වඩා මොන තරම් වෙනස්දැයි විමසන්න.
සොඳුරු
වත මිලින කිම අද කියන් කාරණා
පෙම්බරිය, මමයි
නුඹෙ හද දිනූ පෙම්බරා
ඉසුරුමුණි
ගලම කඳුළින් තෙමී නැහැවෙනා
කාරණා
කියන් මා හද දවා පාරනා...
බොහෝ අයගේ මතය
වන්නේ මේ සාලිය
සහ අශෝකමාලා යන්නයි. සාලිය කියන්නේ කුමාරයෙක්.
කුමාරයෙකුට කරන්න බැරි මොනවද? ඇය සිටිනුයේ යම් තැවුලකින් බව ඔහුට වැටහෙයි. ඉතින් අප
කුමරාට කෙලෙසද බැරිවන්නේ ඇගේ ළතැවුල් නිවන්න. ඒ නිසයි ඔහු ඒ ගැන ඇගෙන් ඒ ගැන
විමසන්නේ. ඈ තැවුළින් පෙළෙන්නේ කිනම් ගැටළුවක් නිසාවෙන්ද ඒ කුමන හෝ ගැටළුවක් විසඳා
ඔහු ඈ සනසනු ඇත.
ඈ සිටිනුයේ
වෙනදා නැති කණස්සල්ලකින්. ඉසුරුමුණි ගල පවා තෙත්වන තරමට හැඞූ කඳුළින්. මීට
හේතුවූ කාරණාව කුමක්ද?
පෙම්බරාණනේ
කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ
නෑ වසර ගණන් උදා හිරුත් නැගෙනු අහසින
පෙම්වතිය
පෙම්වතාගෙන් අසන්නේ
කෝ එදා අප
විඳි තුරුලිය පහස...
කෝ එදා ලද සිසිලස..
කෝ එදා අප
දුටු හිරු සඳු... යනුවෙනි.
ඔහුගේ පැනයට
ලද මේ පිළිතුර, පිළිතුරක් නොව තවත් පැනයකි. එය පෙම්වතාගේ හද කම්පා කරවන සුළුය. ඔහු
නිරුත්තර කරවන පැනයකිය එය. කුමාරයෙක් වුවද ඔහු අද ශෛලමය නිර්මාණයකි. එලෙස හිඳිමින්
ඔහු කෙලෙස ඇයව නිදහසේ තබන්නද?
එපා
පෙළන්නට මා හද - මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන්
තුරු පහස උදුරා මේ සිපිරිගෙයට ලූ පව....
ඔහු අසරණය.
අසරණයෙකුට මීට වඩා දිය හැකි පිලිතුරක් නැත
කියන්නේ
කෙසේ පිලිතුරු කඳුළු කාරණා
රන්මසු
උයන් වැවු තෙර උපන් ප්‍රේමය
මුදා
දෙන්නේ කෙදිනදෝ.....
පෙම්වතාද මේ
පැනයට අසරණ බව ඇය දනී. එහෙත් ඇයට අවශ්‍ය සිරකළ ඔවුනගේ සොඳුරු පෙම මේ දුකින් මුදා
ගැනීමටය.
සුපෙම්බරාණනි
කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර
දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...
දෙනෝදාහක්
සෙනග අතරේ අප ප්‍රේමයෙන් බැඳෙන්නේ කෙලෙසකද යන්නයි ඇගේ පැනය. ඒත් අප පෙම්වතා
කෙසේනම් ඊට පිලිතුරු සපයන්නද, රන්මසු උයන - තිසාවැව්බඩ බැඳි ප්‍රේමය කවදානම් මේ
සිරමැදුරෙන් මුදගන්නද?
මේ කෞතුකාගාර
ගොඩනැගිල්ලක් තුළ සිරකළ ආදරයක ගීතයයි.
සොඳුරු
වත මිලින කිම අද කියන් කාරණා
පෙම්බරිය, මමයි
නුඹෙ හද දිනූ පෙම්බරා
ඉසුරුමුණි
ගලම කඳුළින් තෙමී නැහැවෙනා
කාරණා
කියන් මා හද දවා පාරනා...
පෙම්බරාණනේ
කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ
නෑ වසර ගණන් උදා හිරුත් නැගෙනු අහසින
එපා
පෙළන්නට මා හද - මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන්
තුරු පහස උදුරා මේ සිපිරිගෙයට ලූ පව....
කියන්නේ
කෙසේ පිලිතුරු කඳුළු කාරණා
රන්මසු
උයන් වැවු තෙර උපන් ප්‍රේමය මුදා දෙන්නේ කෙදිනදෝ.....
සුපෙම්බරාණනි
කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර
දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...
පද: යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර : නවරත්න ගමගේ
හඬ: වික්ටර් රත්නායක / නිර්මලා රනතුංග
( කිඳුරු ගීතය සංයුක්ත තැටිය
- යසනාත් ධම්මික බණ්ඩාර ගී සිත්තම් 16 )
"සොඳුරු වත මිලින කිම
අද" ගීතය මෙතනින් අසන්න.
- යසනාත් ධම්මික බණ්ඩාර -






